
භානුක අමරසිංහ
මෙරට අපනයන ඇගලුම් කර්මාන්තය වෙනුවෙන් ආනයනය කෙරෙන රෙදිපිළි ඇතුළු අනෙකුත් උපාංග සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයෝ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය පවසයි.
විශේෂයෙන්ම මෙම සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයන් යනු මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ අදිසි කොඳුනාරටිය වන බවත්, එම ක්ෂේත්‍රය මහා පරිමාණයේ නිෂ්පාදකයන් සඳහා සාහයක සේවා, ලබා දෙමින් මෙම ක්ෂේත්‍රයේ වටිනාකම් දාමය පෝෂණය කිරීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙන බවත් එම සංසදය පෙන්වා දෙයි.
“ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලි සිටින සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් මේ වන විට මුහුණ දී සිටින විශාලතම පීඩාව අලුතින් හඳුන්වා දුන් වැටි බදු අවශ්‍යතාවයි. මෑතක් වන තුරුම අපනයන පරමාර්ථයෙන් ආනයනය කරනු ලබන රෙදිපිළි ඇතුළු අනෙකුත් උපාංග සඳහා තීරුබදු අය කළේ නැහැ. එහෙත් අපනයනකරුවන් සඳහා සියයට 18ක වැට් බද්ද අදාළ වීම නිසා වැට් බදු ගෙවීමත් සමග නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රවාහය බදු ගෙවීමට භාවිත කිරීමට සිදු වෙනවා.”
එසේම රජය පවසන පරිදි වැට් ප්‍රතිපූර්ණය මෙම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට දින 45ක් තුළ නොලැබෙන තත්වයක් තුළ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑම සඳහා පවතින ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාද මෙම ගැටලුව දැඩිව බලපා තිබේ.
ඒ අනුව මේ හරහා ද්‍රවශීලතා ගැටලු, ඇනවුම් යැවීමට ප්‍රමාද වීම, සිදු කළ යුතුව පවතින යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික යාවත්කාලීන කටයුතු සිදු කිරීමට නොහැකි වීම යන අර්බුද මතුව තිබෙන බව එම සංසදය පෙන්වා දෙයි.
“විශාල ප්‍රාග්ධන හැකියාවක් සහිත මහා පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වගේ නෙමෙයි, සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන් දැඩි සීමාකම් මත ක්‍රියාත්මක වන නිසා ඉතා සුළු ප්‍රතිපත්තිමය වෙනස්කමක් පවා මෙම ක්ෂේත්‍රයේ වෙළෙඳ සමබරබවට දැඩි අභියෝගයක් එල්ල කරනවා.” සංසදය පවසයි.
වැට් බදු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයෝ අර්බුදයක