කොළම කොටස් වෙළෙඳ පොළ ඊයේ (අප්‍රි. 21) ගනුදෙනු ආරම්භ වන විට සියුම් වර්ධනයක ලකුණු පෙන්වමින් සිටි අතර පළමු පැය එකහමාරක කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශක අනූවකට ආසන්න ගණනකින් ඉහළ ගියේය. එහෙත් විකිණීම සඳහා දක්වන ලද නැඹුරුව අවසානයේ දී දර්ශක පහත වැටිණ. පසුගිය දින කිහිපය තුළ ගනුදෙනුවලින් සුළු ලාබ සහිතව කොටස් විකිණීම මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණකි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ ඉල්ලුම ඉහළ යා හැකි අතර වෙළෙඳ පොළ වර්ධනයකට අවශ්‍ය පසුබිම පවතී.
සැලකිය යුතු කාලයකට පසු වෙළෙඳ පොළ පිරිවැටුම රු. ට්‍රිලියනය ඉක්මවා ගියේය. ගනුදෙනු අවසන්වන විට දෛනික පිරිවැටුම රු. බිලියන 1,168.58 ක් වශයෙන් විය. බැංකු හා මුල්‍ය අංශයේ කොටස් හුවමාරුව මෙහි දී වැඩිම දායකත්වයක් දක්වන ලද බව දැක්විය හැකිය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,599.61 ක් වූ අතර එය දර්ශක 16.96 ක පසුබැසීමකි. ගනුදෙනු අවසන් වනවිට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,623.07 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 1.17 ක පහළ යෑමක් සේදැක්විය හැකිය.
සම්පත් රු. මිලියන 118 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන් ෆයිනෑනස් රු. මිලියන 82 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 78 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 57 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 45 ක්, වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 44 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 41, ජෝන් කීල්ස් රු. මිලියන 40 ක්, සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 39 ක් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 34 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
විකුණුම්කරුවන් වගකිව යුතු පසුබෑමක්