භානුක අමරසිංහ
ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම එක්සත් අරාබි එමීරයේ ස්ථාපිත කර ඇති, සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන SLOGAL Energy DMCC හි වාණිජ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පවසයි. ලාෆ්ස් ගෑස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ.
මෙම SLOGAL Energy DMCC සමාගම එක්සත් අරාබි එමීරයේ ඩුබායිහි පිහිටි DMCC (Dubai Multi Commodities Centre) හි ස්ථාපිත කර ඇති සමාගමකි. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) මගින් විධායක නියෝග 13902 යටතේ අදාළ සමාගම නම් කර ඇති බව ලාෆ්ස් ගෑස් පීඑල්සී පවසයි.
එහිදී එක්සත් ජනපදය මගින් සම්බාධක පනවා ඇති රටවල් සමගින් හෝ සම්බාධක පනවා ඇති කලාපවල නිෂ්පාදන මිලදී ගැනීමට හෝ පහසුකම් සැපයීමට දායකත්වය ලබා දෙන බවට චෝදනා කරමින් එම නම් කිරීම සිදු කර තිබේ.
ඒ අනුව අදාළ සමාගමේ මෙහෙයුම් තාවකාලිකව නවත්වා එක්සත් ජනපද සම්බාධක කවුන්සිලය මගින් ක්‍රියාත්මක ඉදිරිපත් කරන විවරණයට සහාය දැක්වීමක් සිදු කරන බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් මෙම පියවර හේතුවෙන් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමේ දැනට ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා බලපෑමක් එල්ල නොවන බව එම සමාගම සඳහන් කරයි. මෙම SLOGAL Energy DMCC සමාගම එල්පී ගෑස් ප්‍රතිඅපනයන මෙහෙයුම් සඳහා යොදාගත් ගනුදෙනු හස්තයක් ලෙස ක්‍රියාත්මක වූ බවත් ඔවුහු පවසති.
ඒ අනුව අදාළ සමාගමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම දේශීය ගෑස් අලෙවිය සහ බෙදාහැරීම වෙත බලපෑමක් එල්ල නොවන බවත්, එහි මෙහෙයුම් ඉදිරියටත් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
ලාෆ්ස් ගෑස් SLOGAL Energy DMCC හි වාණිජ මෙහෙයුම් අත්හිටුවයි