ගෝලීය අවිනිශ්ෂිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනිවාර්යයෙන් බලපෑමක්
ශ්‍රී ලංකාව ඇතුළු සෑම රටක්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මාර්ගයේ අඛණ්ඩව ගමන් කිරීම අත්‍යවශ්‍යයි
ඉතාමත් අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතාමත් සතුටුදායකයි
මෙරට උද්ධමනය පහළ ගොස් නිල විදෙස් සංචිත වර්ධන වෙමින් පවතිනවා
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසාන අදියරේ
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව විදුලිය ගාස්තුව සියයට 15 කින් වැඩි කිරීමට ගත් තීරණයත්, පූර්ව ක්‍රියා සපුරාලීමට ගත් අනෙකුත් ක්‍රියාමාර්ගත් පසුගිය අප්‍රේල් මාසයේදී එළැඹි කාර්ය මණ්ඩල එකඟතාව විධායක කමිටු අනුමැතිය සඳහා යොමු කිරීමට ප්‍රාණවත් දැයි ඇස්තමේන්තු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට බලධාරීන් සමග සමීපව කටයුතු කරන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
පසුගිය පෙබරවාරි මස අවසානයේදී රජය විසින් පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ යාවත්කාලීන කරන ලද රජයේ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත්කරන ලද බවත් එහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය පාලන වාර්තාව මගින් නිර්දේශ කර තිබූ පොදු ප්‍රසම්පාදන නීතියක් සහ වත්කම් ප්‍රතිසාධන නීතියක් බලාත්මක කිරීම පිළිබඳ කැපවීම් සමග ක්‍රියාමාර්ග රාශියක් ඇතුළත් වූ බවත් ඇය එහිදී පැවැසුවාය.
අනෙක් සෑම රටකට සේම වර්තමානයේ මතුව ඇති ගෝලීය අවිනිශ්ෂිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනිවාර්යයෙන් බලපෑමක් තිබෙන බවත් එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන කරුණක් නොවන බවත් එය සෑම රටකටම බලපාන කරුණක් බවත් කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. මෙම ඉහළ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මතුවන අවදානම් තත්ව වර්ධනය වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට මැදිහත්වී මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ රාමුව තුළ සිට ඊට විසඳුම් සෙවීම සඳහා බලධාරීන් සමග සමීපව කටයුතු කරනු ඇතැයි කොසැක් මහත්මිය පැවැසුවාය.
එහිදී පළමු පියවර ලෙස මෙරට බලධාරීන් සමග එකතු වී ඉහළ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වන සෘණාත්මක බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කරනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය. අනතුරුව එල්ලවන සෘණාත්මක බලපෑම ආමන්ත්‍රණය කිරීමට මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ රාමුව තුළ සිට ගතහැකි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මොනවා දැයි දෙපාර්ශ්වය එකතුවී තීරණය කරනු ඇතැයි ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව ඇතුළු සෑම රටක්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මාර්ගයේ අඛණ්ඩව ගමන් කිරීම අත්‍යවශ්‍ය බවද කොසැක් මහත්මිය පැවැසුවාය. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මෙන්ම ආර්ථිකය වර්ධනය කරනු ලබන ප්‍රතිසංස්කරණද ක්‍රියාත්මක කිරීම මෙරටට පමණක් නොව අනෙක් සෑම රටකටම ඉතා වැදගත් බව ඇය පෙන්වා දුන්නාය.
අත්‍යවශ්‍ය නමුත් ක්‍රියාත්මක කිරීමට ඉතාමත් අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතාමත් සතුටුදායක බවත් එලෙස ඉතාමත් අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතින බවත් ඇය ප්‍රකාශ කළාය. ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ධනාත්මක ආර්ථික වර්ධන වේගය අගය කළ යුතු බවද ඇය පැවැසුවාය.
මෙරට උද්ධමනය පහළ ගොස් ඇති බවත් නිල විදෙස් සංචිත වර්ධන වෙමින් පවතින බවත් ඇය ප්‍රකාශ කළාය. එසේම මෙරට මූල්‍ය අංශයේ ආදායම් එකතු කිරීම්ද වැඩි දියුණු වෙමින් පවතින බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසාන වෙමින් පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.
ආර්ථික අර්බුදයෙන් බැට කෑ ශ්‍රී ලංකාව සිය ආර්ථිකය නැවත යථා තත්වයට පත්කිරීම සඳහා ගත් අපහසු ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ඇගයීමට ලක්කළ යුතු බවද ඇය ප්‍රකාශ කළාය. කෙසේ නමුත් මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වනතෙක් ප්‍රතිසංස්කරණ ක්‍රියත්මක කිරීමේ මාර්ගයේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ගමන් කළ යුතු බවද ඇය පැවැසුවාය.
මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ සිවුවැනි සමාලෝචනය සම්බන්ධව පසුගිය අප්‍රේල් 25 වැනිදා කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණි බවත් ශ්‍රී ලංකාව ගෙන ඇති පූර්ව ක්‍රියාමාර්ග ප්‍රමාණවත් යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කිරීමෙන් පසුව විධායක කමිටුව එයට අනුමැතිය ලබාදීම සඳහා රැස්වන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.
සිවුවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව මෙරටට ලබාදී ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344 ක මුදලක් මෙරටට ලැබෙනු ඇති බවත් ඇය සඳහන් කළාය.
වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බවත් වැඩසටහනේ කැපවීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බවත් ඇය සඳහන් කළාය. සෑම සමලෝචනයක්ම සම්පූර්ණ කිරීමට විධායක කමිටු අනුමැතිය ලැබීමට නම් එහි සඳහන් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබිය යුතු බවද ජාත්‍යන්තර අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.
ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රගතියට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පැසසුම්