
ශ්‍රී ලංකාවේ අපනයන පද්ධතිය තුළ තිරසාරභාවය සහ බලපෑම් වාර්තාකරණය ශක්තිමත් කිරීම සඳහාත්, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ගෝලීය තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහාත් Global Reporting Initiative (GRI) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය උපායමාර්ගික සහයෝගිතා ගිවිසුමකට එළැඹ තිබේ.
මෙම ගිවිසුමට පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී Global Reporting Initiative හි ප්‍රමිති පිළිබඳ ප්‍රධාන නිලධාරී බැස්ටියන් බක් මහතා (Bastian Buck) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක මංගල විජේසිංහ මහතා විසින් අත්සන් කරන ලදී.
ජාත්‍යන්තරව පිළිගත් GRI ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලාංකික ව්‍යාපාර සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ ආර්ථික, පාරිසරික සහ සාමාජීය බලපෑම් වටහා ගැනීමට සහ වාර්තා කිරීමට ඇති හැකියාව මෙම සහයෝගිතාවෙන් ශක්තිමත් කරනු ඇත. ජාත්‍යන්තර අගය එකතු කිරීමේ දාම තුළ වැඩිවන තිරසාර අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට උපකාරී වන පරිදි, විශේෂීත මැදිහත්වීම්,වාර්තාකරණය පිළිබද උපදේශන සැසි සහ ඩිජිටල් ඉගෙනුම් අවස්ථා හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SMEs) කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ සිදුකරන ලද පූර්ව සහයෝගිතාව මත පදනම්ව, මෙම සහයෝගිතා ගිවිසුමෙන් අතිරේක ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍ර පුරා තිරසාර වාර්තාකරණ පුරුදු ප්‍රවර්ධනය කරනු ලබයි. තවද, ශ්‍රී ලංකාවේ ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය (NGRS) සහ IFRS තිරසාර අනාවරණය කිරීමේ ප්‍රමිති ඇතුළු අදාළ ජාතික සහ ගෝලීය අනාවරණය කිරීමේ රාමු සහ GRI ප්‍රමිති අතර තාක්ෂණික දැනුම හුවමාරු කර ගනිමින් පෙළගැස්මක් ඇති කිරීමට මෙමගින් පහසුකම් සැලසේ.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, පරිණාමය වන ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට සහ විශ්වසනීය, පාරදෘශ්‍ය මෙන්ම නිරවද්‍ය තිරසාර පුරුදු ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට මග පාදන වැදගත් පියවරක් ලෙස මෙම ගිවිසුම සලකුණු වන බවයි.
ශ්‍රී ලංකාවේ 2026 - 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුකූලව, අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාරික පුරුදුවලට තිරසාරභාවය පුරුදු කිරීමට සහ ගෝලීය අගය එකතු කිරීමේ දාම සඳහා වන සහභාගීත්වය ශක්තිමත් කිරීමට සහාය වීම පිණිස දිගුකාලීන ආයතනික සහයෝගිතාවකට මෙම ගිවිසුම පදනම සපයනු ඇත.
ලංකාවේ අපනයන තිරසාර වෙෙළඳාම ප්‍රවර්ධනයට EDB - GRI අතර උපායමාර්ගික ගිවිසුමක්