වසරේ මේ දක්වා රන් මිල සියයට 31කින් ඉහළ ගිහින්
භානුක අමරසිංහ සහ යොහාන් භාසුර
ලෝක වෙළෙඳ පොළේ රන් මිල ඊයේ දිනයේදී වාර්තාගත ඉහළ අගයකට පත් වූ බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ (22) දිනයේදී රන් අවුන්සයක මිල එක්සත් ජනපද ඩොලර් 3,500.05ක් දක්වා ඉහළ නැගි අතර, දිනය අවසානයේදී එය ඩොලර් 3,479.50ක් බවට පත්විය.
විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැනවූ තීරුබදු හේතුවෙන් ආසන්න දින කිහිපයේදී ඩොලරයේ වටිනාකම්හි සිදුවූ පසුබැසීම මෙලෙස රන් මිල ඉහළ යාමට දායක විය. එසේම එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවෙහි ප්‍රධානියා වන ජෙරොම් පවෙල් එම ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවට පවතින අදහසත් සමගින්ම ආයෝජකයන් තුළ පැවැති අවිනිශ්චිතතාවත් මේ සඳහා හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ ලෝක වෙළෙඳ පොළේ රන් මිල සියයට 31 කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇතැයි සඳහන් වෙයි. ඊයේ දිනයේදී මෙරට වෙළෙඳ පොළ තුළ කැරට් 22 පවුමක මිල රුපියල් 268,050.00 ක් ලෙස සටහන්ව තිබුණි. පෙරේදා දිනයේදී එය රුපියල් 262,250.00 ක් විය.
ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත අගයකට