භානුක අමරසිංහ
මාලදිවයින වෙත සිදු කරන අපනයන තවදුරටත් ශක්තිමත් කරමින් නව ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීම සිය අපේක්ෂාව බව ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම පවසයි. සමාගම විසින් 2024-25 වසර සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන්ව තිබේ.
ඒ අනුව නව නිෂ්පාදන විවිධාංගීකරණයක් සිදු කරමින්, ඇති කරගන්නා නව හවුල්කාරීත්ව හරහා සිය නිෂ්පාදන අපනයනය කිරීමේ අවස්ථා සොයා බලන බව සමාගම පවසයි. විශේෂයෙන්ම Daily සන්නාමයේ නිෂ්පාදන අපනයනය කෙරෙහි වැඩි අවධානය යොමු කර තිබේ. දැනටමත් Daily නිෂ්පාදන මාලදිවයින වෙත සාර්ථක ලෙස අපනයන කරයි.
මේ අතර ශ්‍රී ලංකාව ආනයනික කිරි මත යැපීම අඩු කරමින් කිරෙන් ස්වයංපෝෂිත කිරීම සිය මූලික අරමුණ බවද සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සසංක පෙරේරා මහතා මෙම වාර්ෂික වාර්තාව වෙත සඳහන් කර තිබේ. “වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ නිපදවෙන්නේ රටේ කිරි අවශ්‍යතාවෙන් සියයට 35ක් පමණයි. ඉතිරිය සපුරා ගන්නේ ආනයනයෙන්. නමුත් අපගේ අවශ්‍යතාව වන්නේ වඩාත් තිරසාර නවෝත්පාදන ක්‍රමවේද හරහා සිදු කරන නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් මෙම ආනයනික කිරි මත යැපීම අඩු කිරීමයි.“
එහි පියවරක් ලෙස සමාගම මෙම වසරේදී සිය වාර්ෂික නැවුම් කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 20.8ක් බවට පත් කරගැනීමට සමත්ව තිබේ. 2020 දී මෙය ලීටර් මිලියන 10ක් වූ අතර, 2023 දී එය ලීටර් මිලියන 15ක් දක්වාත්, 2024 දී එය ලීටර් මිලියන 16.5ක් දක්වාත් ලෙස ඉහළ නංවා තිබේ.
එසෙම ඉදිරි හඳුන්වාදීම් යටතේ පවුලටම ගැළපෙන ප්‍රමාණයේ යෝගට් නිෂ්පාදනයක්, නව යෝගට් පානයක් මෙන්ම ගෘහස්ත ප්‍රමාණයේ එළගිතෙල් පැකට්ටුවක් යනාදිය ඉදිරිපත් කරන බවද සමාගම පවසයි. එසේම පරිසර හිතකාමී, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ඇසුරුම් වෙත තවදුරටත් ආයෝජනය කිරීමත් අපේක්ෂාවකි.
මේ අතර මෙරට කිරි කර්මාන්තය වෙත දිගුකාලීන තිරසාරත්වයක් ඇති කිරීමට නම් මධ්‍යම ප්‍රමාණයේ කිරි නිෂ්පාදන ඒකක වෙත ප්‍රාග්ධන ආයෝජන ඉහළ දැමීම, කිරි ගොවිපොළ මෙහෙයුම් පුළුල් කිරීමට සහාය දැක්වීම, සත්ත්ව ආහාර වගාව ප්‍රචලිත කිරීම, නවීන තාක්ෂණය යොදා ගැනීම මෙන්ම අගය එකතු කළ කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය යනාදිය අවශ්‍ය සමාගම පවසයි.
ලංකා මිල්ක් ෆුඩ්ස් ජාත්‍යන්තර නව වෙළෙඳපොළ අවස්ථා සොයයි