කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (සැප් 11) ගනුදෙනුවල දී නැවත වරක් පසුබැසීමකට ලක්විය. ඇතැම් සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජන ආකර්ෂණය ඇතිකරන ලද නමුත් විකිණීමට දක්වන ලද උනන්දුව අවසානයේ දී අඩු මිල ගණන් යටතේ හුවමාරු වන බවක් නිරීක්ෂණය කළ හැකි විය.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබෙන මානව හිමිකම් චෝදනා සම්බන්ධ සාකච්ඡා ආර්ථික තීරණ ඉදිරියේ අවධානයට ගෙන තිබේ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගම් ලෝක ආර්ථිකය එක්තරා පසුබැසීමකට හේතු විය හැකි බව අනාවරණය කර ඇත. ඇමරිකානු වෙළෙඳ ප්‍රතිපත්ති අනුව සංශෝධිත බදු අනුපාත ජාත්‍යන්තර වෙළෙඳාමට තියුණු බලපෑමක් ඇති කරනු ඇති අතර එහි වාසි හා අවාසි මිශ්‍ර වී තිබේ. ශ්‍රී ලංකාවට පනවන ලද බදු ප්‍රතිශත ඉක්මවන ආකාරයට ඉන්දියාවට පනවන ලද අනුපාත මෙරට අපනයනවලට වාසි විය හැකි නමුත් එය නිශ්චිත නැති බව ද දැක්වේ. විදේශ ආයෝජන අඩුවීම කෙරෙහි එම තත්වය බලපා තිබේ.
දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,641.83 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 127.51 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,889.40 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 40.31 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.17 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 32,921 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 267.9 ක් විය. සමාගම් 98 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 163 කි.
ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 499 ක්, චෙවරන් රු. මිලියන 449 ක්, සියෙරා කේබල් රු. මිලියන 270 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 150 ක්, වැලිබල් වන් රු. මිලියන 134 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 123 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 101 ක්, ඒ.සී.එල්. රු. මිලියන 95 ක්, ඩොක්යාඞ් 92 ක්, ලාෆ් ගෑස් මිලියන 88 ක්, නවලෝක හොස්පිටල් මිලියන 84 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස්. මිලියන 84 ක් සහ සම්පත් බැංකුව රු මිලියන 77 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
ලෝක ආර්ථික ප්‍රවණතා ශ්‍රී ලංකාවට බලපෑමක් කරන ලකුණු