
 ශ්‍රී ලංකාවේ රබර්  අපනයනකරුවන් යුරෝපා  සංගමය නිසා කබලෙන්  ළිපට වැටේද ?
 ශ්‍රී ලංකාවේ රබර්  අපනයනකරුවන් යුරෝපා  සංගමය නිසා කබලෙන්  ළිපට වැටේද ? 
මෙරට අපනයනකරුවන් අනිවාර්යෙන්ම යුරෝපා සංගමයේ වනාන්තර විනාශයට අදාළ නව නියාමනයන් අනුගමනය කළ යුතු බවට අනතුරු අඟවන ප්‍රසිද්ධ කතිකාවක් නොබෝදා පවත්වනු ලැබීය. මෙම සංවාදය පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පෞද්ගලික බුද්ධි මණ්ඩලයක් වූ වෙරිටේ රිසර්ච් සහ (Verite Research) යුරෝපා සංගමයේ නියෝජිතයන්ගේ අනුග්‍රහය යටතේය. යුරෝපා සංගමයේ වනාන්තර විනාශයට අදාළ නියාමන නීතිරීති (EU Deforestation Regulations EUDR) 2025 අග භාගයේ පටන් බල පැවැත්වීමට නියමිතය. 
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, යුරෝපා සංගමයේ තානාපති කාර්මන් මොරෙනෝ (Carmen Moreno) මෙම අලුත් නියාමන රීති වලට අනුගතවී ඉදිරි කාලයේදී තරගකාරිත්වය තුළ රැඳෙමින් තිරසාර වර්ධනයක් අත්කර ගෙන මෙම අභියෝගය මහඟු අවස්ථාවක් බවට පත් කර ගන්නා ලෙස ප්‍රේක්ෂකාගාරයේ සිටි අයගෙන් ඉල්ලා සිටියාය. එක්සත් ජනපද පාලනයෙන් ශ්‍රී ලාංකීය අපනයකරුවන් මත තීරණාත්මක තීරුබදු වැඩි කිරීම පැනවූ පසුබිමක යුරෝපා සංගමයේ වෙළඳපොළ විනිවිද යන්නට මාන බලමින් අරගලයක යෙදී සිටින ශ්‍රී ලාංකීය අපනයකරුවන්ට යුරෝපා සංගමයෙන් සංක්ෂේප කොට දක්වනු ලැබූ මෙම අනතුරු ඇඟවුම කුමන ප්‍රමිතියෙන් බැලුවද කදිම උපාය මාර්ගයක් වන්නේය. අරමුණ යථාර්ථවත් කිරීම පිණිස පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එක් කරගෙන ආණ්ඩුව අනුගත වීමේ සිට තරගකාරිත්වය දක්වා මාරුවීම තෝරා ගත යුතු බවට අවධාරණය කරමින් මොරෙනෝ තවදුරටත් ඇයගේ උපදේශය සියුම් ලෙස ගෙනහැර පෑවාය. 
අවාසනාවකට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හැරුණු විට ආණ්ඩුව පැත්තෙන් කිසිදු දේශපාලනඥයෙක් ප්‍රේක්ෂකාගාරයේ නොසිටියේය. මෙම නිසා ආණ්ඩුවට මෙය කෙතරම් අදාළ වන්නේද යන්න ඉහළ මට්ටමේ නායකයන්ට විස්තර කර කීම එම නිලධාරීන්ගේ වගකීම වන්නේය. ප්‍රේක්ෂකාගාරයේ සිටි එකම දේශපාලනඥයා මගේ වැටහීමේ හැටියට විපක්ෂ නායකවරයාය. 
 පරිසර සංරක්ෂණයට  යුරෝපා සංගමයේ කැපවීම 
පසුගිය කාලයේ ජෛව විවිධත්වය අහිමිව යාම සහ හරිතාගාර වායු නිකුතුව අවම මට්ටමකට ගෙන  ඒම සඳහා පියවර කිහිපයක් හඳුන්වා දෙමින් ලෝකය හරිත වර්ණ කිරීමේ  පුරෝගාමී මෙහෙවරක යුරෝපා සංගමය නියැලුණේය. ලෝකයේ වනාන්තර ආරක්ෂාකොට නැවත ස්ථාපිත කිරීම උදෙසා ඉදිරියට පැමිණි යුරෝපා සංගමය 2019 දී ප්‍රචාරණයක් මුදා හැරියේය. වනාන්තර විනාශය ඉහළයාම සහ වනාන්තරවල තත්ත්වය පහත හෙලීම ලෝකය තුළ ඉහළ යමින් පවතින බවට එයින් අනතුරු ඇඟවූයේය. 
වනාන්තර හෙළි කිරීම කරනු ලබන්නේ කර්මාන්ත ශාලා ඉදිකිරීම සහ මිනිසුන්ගේ වාසය පිණිස නිවාස ඉදිකිරීම වැනි වෙනත් භූමි පරිභෝජනයන්ට වනාන්තර භාවිතා කිරීම සඳහාය. වනාන්තරවල තත්වය පහත හෙලීමේදී වනාන්තර එසේම තිබියදී මානව ක්‍රියා කාරකම් සහ ස්වභාවධර්මයේ අරමුණ උදෙසා ඒවායෙන් සිදුවන නිෂ්පාදන හා සේවා ලබාදීමේ හැකියාව අහිමිව යාම සිදුවේ. මෙම ක්‍රියාකාරකම් දෙකම තිරසාර සංවර්ධනය සහතික කිරීමේ පොදු අරමුණට අවැඩදායක වේ. 
තිරසාර සංවර්ධනය අරමුණු කර එක්සත් ජාතීන් විසින් හඳුනාගනු ලැබූ ඵලදායී ප්‍රතිඵල 9ක් අත්පත් කර ගැනීම සඳහා වනාන්තර උපකාරී වේ. පළමු වැන්න, වනාන්තර නිෂ්පාදන වලින් ආදායම් ඉහළ නංවා දරිද්‍රතාව අඩු කිරීමයි. දෙවැන්න වනඵල සහ වන සතුන් සම්පාදනය කිරීම ඔස්සේ සාගින්න ශූන්‍ය කිරීමයි. තුන්වැන්න, ඖෂධ ශාඛ සැපයීමෙන් සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය කිරීමයි. හතරවැන්න, පානය සහ ගොවිපොළ කටයුතු උදෙසා නැවුම් ජලය උත්පාදනයයි, පස්වැන්න සමස්ත වර්ධනයට උපකාරී වීමයි. සයවැන්න ආදායම් අසමානතාව අඩු කිරීමයි. සත්වැන්න තිරසාර පරිභෝජන සහ නිෂ්පාදන රටාවන් සහතික කිරීමයි. අට වැන්න කාබන් ග්‍රහණය සහ ගබඩාකරණයෙන් දේශගුණ විපර්යාස අවම කිරීම, නව වැන්න ජෛව විවිධත්වය සහතික කිරීමෙන් ගෝලීය වශයෙන් සිදු කරන උපකාරයයි. මෙම ඵලදායී ප්‍රතිඵල ලැබීමේ සියලු අවස්ථා වනාන්තර විනාශය හා වනාන්තරවල ගුණාත්මක භාවය පහත හෙලීම ඔස්සේ ඉවත හෙළන්නට ලෝකයට බල කරනු ලබයි. 
අදාළ රටවල වනාන්තර වැස්ම වැඩිකරලීමට යුරෝපා සංගමය ගත් පියවර මගින් අගය කළ යුතු ප්‍රතිඵල ලැබී ඇති බැවින් ගෝලීය වනාන්තර සංරක්ෂණය කිරීමට නායකත්වය ගැනීම යුරෝපා සංගමයට වැදගත් වන බවට එම ප්‍රචාරයන් ඔස්සේ තර්ක කෙරේ. යුරෝපා සංගමය පවසන ආකාරයට වනාන්තර විනාශය දරුණු මට්ටමෙන් සිදුවන නිවර්ථන ප්‍රදේශවලින් චූදිතයන් සොයාගත හැකිය. හරිතාගාර බලපෑම්වලට දේශපාලන දේශ සීමාවන් නොමැති නිසා සෙසු ලෝකයේ සිදුවන  ඕනෑම හරිතාගාර වායු වැඩිවීමක් හේතුවෙන් සිදුවන දේශගුණ විපර්යාස යුරෝපා සංගමයේ රටවලටද බලපෑ හැකිය. එය ද්විතීය දුම්පානයට  නිරාවරණය  වන තැතැත්තාට පිළිකාවක් වැළඳීමක් හා සමානවේ. 
යුරෝපා සංගමයේ රටවල පමණක් නොව සමස්ත ලෝකයේම වනාන්තර වැස්ම අහිමි වීමෙන් ආරක්ෂා කිරීමේ නියාමන ක්‍රමයක් ඇති කිරීම යුරෝපා සංගමයේ චේතනාව වී ඇත්තේ මේ නිසාය. ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු වලින් තමන්ගේ රට ඇතුළු මුළුමහත් ලෝකය පුරා කම්පනයක් ඇති කරන්නා සේ යුරෝපා සංගමය හරිතාගාර වායු නිකුක්වීම අඩුකොට දේශගුණ විපර්යාස සමනය කිරීමට උපකාර කිරීම උදෙසා ලෝ පුරා ධනාත්මක කම්පනයක් ඇති කිරීම සඳහා අභ්‍යන්තර සහ බාහිර වෙළඳාමට මැදිහත් වීමට සැලසුම් කර තිබේ. මගේ මතයේ හැටියට එය සෙසු ලෝකය උදෙසා යුරෝපා සංගමය විසින් සිදු කරන ගෝලීය මෙහෙවරකි. 
 හරිත-රහිත විප්ලවය,  හරිතකරණය 
වනාන්තර භූමි, කොකෝවා, පොල්, තේ හෝ රබර් වැනි නිත්‍ය භෝග වගාව  උදෙසා හෙළි කිරීමෙන් වනාන්තර වැස්ම අඩුවී යන නමුත් එයින් වෘක්ෂ වැස්ම ඉවත්ව නොයන්නේය. එම වෘක්ෂ වැස්ම කාබන් අවශෝෂණ කර ගබඩා  කර ගන්න යාන්ත්‍රණය ලෙස ඉතිරිව පවතින්නේය. එම නිසා එය දේශගුණ විපර්යාස සිදු වීමට හේතුවක් නොවන්නේය. 
කෙසේ වුවද එයින් ජෛව විවිධත්වය සමතුලිත ලෙස පවත්වා ගැනීමට බලපෑමක් සිදු වනුයේ වාණිජ වශයෙන් සංවර්ධනය වූ ඉඩම් ස්වභාවික ලෙස වර්ධනය වනාන්තර භූමි මෙන් පරිසරයට විවිධ ජෛව මූලාංග එකතු නොකරන නිසාය. 
මෙය හරිත විප්ලවයට එරෙහිව මතු කළ එක් තර්කයකි. හරිත විප්ලවය විසිවැනි සියවස මැද භාගයේදී ආරම්භ කරන ලද්දේ නොබෙල් ත්‍යාග ලාභී මෙක්සිකානු ජාතික නෝර්මන් බෝර්ලාවුග් (Norman Borlaug) සහ ඉන්දියාවේ එම්. එස්. ස්වාමිනාදන් විසිනි. එම දෙරටේ කුසගින්නේ පෙළෙන ජනයා වැඩිවීම නිසා ඔවුන් පෝෂණය කිරීමට එම වැඩපිළිවෙල අරඹන ලදී. ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේලා හරිත විප්ලවය හේතු වුවද අද තිබෙන අවබෝධය අනුව එය හරිත නොවූ හරිත විප්ලවයකි. රසායනික පොහොර, කෘෂි රසායන අධික ලෙස භාවිතය, ගොවිපොළ ක්‍රමයේදී තීව්‍ර ජල භාවිතය, බෝග වැඩිවීම හේතුවෙන් කෘෂි ඉඩම්වල එසේ සාරවත් භාවය නැතිවීම යන කාරණා හේතු කොට ගෙන අද තේරුම් ගෙන ඇති ආකාරයට හරිත විප්ලවය හරිත-රහිත විප්ලවයකි. 
එම නිසා පාරිසරික වශයෙන් හිතකර බෝග වගා සහ කළමනාකරණ ක්‍රම උපයෝගී කරගෙන හරිත විප්ලවය හරිත කිරීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ. එම නිසා මේ අලුත් ක්‍රමය හරිත-හරිත විප්ලවය හෙවත්  2GR (Green Green Revolution) ලෙස හැඳින්විය හැකිය. වැඩිවන ලෝක ජනගහනය උදෙසා ආහාර සුරක්ෂිත භාවය සහතික කිරීම තවමත් ප්‍රධාන ගැටලුවක් නිසා (2GR) හරිත-හරිත විප්ලවයට සහාය දෙනු වස් නව තාක්ෂණය හඳුන්වාදීමට පර්යේෂණ සඳහා මූල්‍ය යෙදවුම් මෙහෙය විය යුතු බැවින් යුරෝපා සංගමය එය ගෝලීය පරිසරය සංරක්ෂණ කරන්නකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නිවැසි මට්ටමේ ආහාර සුරක්ෂිත භාවය යනු ජනතාවට පහසුවෙන් ගත හැකි මිලකට ප්‍රමාණවත් ලෙස ආහාර තිබීමයි. 2GR විසින් මෙම අරමුණ කරා එළඹීම තහවුරු කරනු ඇත. එම නිසා ගෝලීය දේශගුණ විපර්යාසයට පිළියම් යෙදීමේ යුරෝපා සංගමයේ ක්‍රමෝපාය වැදගත් අංගයක් වන්නේය. 
 ගෝලීය වන වැස්ම  ආරක්ෂා කිරීම 
යුරෝපා සංගමයේ වනාන්තර හෙළි කිරිමේ නියාමන රීති වලින් (EUDR) වනාන්තර හෙළි කිරීමෙන් තොර නිෂ්පාදන 2023දී අනුමත වූ අතර ඒවා 2025 ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. එසේ වුවද යුරෝපා සංගමයේ රටවල සහ වෙනත් රටවල 2024 දී එය ක්‍රියාත්මක කිරීමට බිම් මට්ටමේ ප්‍රමාණවත් යාන්ත්‍රණයක් නොමැති වීම නිසා එය  ක්‍රියාත්මක කරන දිනය විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ කොමිපැණි උදෙසා 2025 දෙසැම්බර් දක්වාද කුඩා සහ ක‌්ෂුද්‍ර පරිමාණයේ සමාගම් උදෙසා ක්‍රියාත්මක කිරීම 2026 ජූනි දක්වා කල් තබා ඇත. 
 මෙම නීති ක්‍රියාත්මක කිරීමේ  නිර්භීත අරමුණු තුනකි 
පළමුවැන්න එය යුරෝපීයන් විසින් මිලදී ගනු ලබන හා පරිභෝජනය කරන වනාන්තර පදනම් කරගත් නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් යුරෝපා සංගමය තුළ හා ගෝලීය වශයෙන් වනාන්තර විනාශ කිරීම හා වනාන්තරවල තත්ත්වය බාල කිරීම වැළැක්වීම අරමුණු කර ගැනීමයි. 
දෙවැන්න මෙම පියවර ඔස්සේ යුරෝපීය පරිභෝජනයෙන් සහ එම වනාන්තර පදනම් කරගත් නිෂ්පාදන ඔස්සේ අවම වශයෙන් වසරකට කාබන් මෙට්‍රික් ටොන් මිලියන 32ක් පරිසරයට මුදා හැරීම අඩු කරනු ලබයි. තුන්වැන්න ඒ මගින් වනාන්තර හෙළි කිරීම හා වනාන්තරවල ගුණාත්මක තත්ත්වය  පහත හෙළමින් සිදුවන කෘෂිකාර්මික ව්‍යාප්තිය පරීක්ෂාවට ලක් කිරීමයි.   
ගව සම්පත්, කොකෝවා, කෝපි, පාම්තෙල්, රබර්, සෝයා සහ දැව වැනි ප්‍රාථමික මට්ටමේ වනාන්තර පදනම් කරගත් භාණ්ඩ වෙනත් නිෂ්පාදනවලට පරිභෝජන මට්ටමේදී අමුද්‍රව්‍ය ලෙස දායක වේ. නැතහොත් සෘජු පරිභෝජන භාණ්ඩයන් වේ. 
උදාහරණයකට කොකෝවා යනු මූලික පරිභෝජන භාණ්ඩයකි. එහෙත් පහත සඳහන් පරිභෝගික නිෂ්පාදන එයින් නිපදවේ. කැඩුණු හෝ සම්පූර්ණ අමු හෝ බදින ලද කොකෝවා ඇට, කොකෝවා කටු, පොත්ත සහ අනෙකුත් කොකෝවා අප්‍රද්‍රව්‍ය තෙල් සහිත හෝ තෙල් ඉවත් කළ කොකෝවා පේස්ට් කොකෝවා බටර් තෙල් සහ මේද, චොකලට් හෝ කොකෝවා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කොට නිපදවූ  වෙනත් කොකෝවා ආහාර. 
ශ්‍රී ලංකාව ගත්විට වනාන්තර පදනම් කරගත් මූලික නිෂ්පාදක භාණ්ඩයක් ලෙස හඳුනාගෙන ඇත්තේ රබර් පමණකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෘක්ෂ පදනම් කරගත් අපනයන භෝග වන තේ, පොල් හෝ සුළු අපනයන කුළුබඩු බෝග මේ සඳහා තෝරාගෙන නැත. අනාගතයේදී ක්‍රමෝපායක් ලෙස ශ්‍රී ලංකාවේ රබර් පදනම් කරගත් නිෂ්පාදන අපනයන කරුවන් යුරෝපා වෙළඳපොළට පිවිසෙන්නට නම් ඔවුන් EUDR යුරෝපා සංගමයේ වනාන්තර විනාශයට අදාළ නියාමන රීති වලට අනුව කටයුතු කරන්නට සූදානම් විය යුතුය. මධ්‍යම පරිමාණයේ සහ විශාල සමාගම් 2025 දෙසැම්බර් වනවිට සූදානම් විය යුතු වන අතර කුඩා හා ක්ෂුද්‍ර පරිමාණයේ රබර් වගා කරුවන් 2025 ජූනි වන විට ඊට සූදානම් විය යුතුය. මෙම වර්ග දෙකටම රජයේ සහයෝගය නොලැබුණොත් මෙය පහසු කාර්යයක් නොවනු ඇත. 
 මෙහෙයුම්කරුවෝ සහ  වෙළෙන්දෝ 
EUDR යුරෝපා සංගමයේ වනාන්තර හෙළි කිරීමට අදාළ නියාමන නීති ක්‍රියාත්මක කිරීම අදාළ වන වනාන්තර පදනම් කරගත් නිෂ්පාදන කර්මාන්තයේ නියැලි පාර්ශ්වයන් දෙක මේ වනවිට හඳුනාගෙන තිබේ.
 හඳුනාගෙන ඇති වනාන්තර නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන මෙහෙයුම්කරුවන් නැතහොත් එම වාණිජ කාර්යයම කරමින් අපනයනය කරන්නන් එක්පාර්ශ්වයකි. මෙම නිෂ්පාදන පාරිභෝගිකයන්ගේ භාවිතය උදෙසා වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ වාණිජ ව්‍යාපාරයේ රැඳී සැපයුම් දාමයේ නිරත වෙළෙන්දන් තවත් පාර්ශ්වයකි. 
මෙම දෙපාර්ශ්වය එම නිෂ්පාදනයන්ට අදාළ කටයුතු කරන විට කොන්දේසි තුනක් සපුරාලිය යුතුය. පළමුව ඒවා  වනාන්තර විනාශයෙන් තොරව නිෂ්පාදනය කළ බවට ඔවුන් තෘප්තිමත් විය යුතුය. දෙවැන්න එම නිෂ්පාදන අදාළ රටේ අදාළ නීතිවලට අනුකූලව නිෂ්පාදනය විය යුතුය. තුන්වැන්න අදාළ නිෂ්පාදන නිසි පරිදි නිෂ්පාදනය කරන බවට ප්‍රකාශයක් තිබිය යුතු වීමයි. එම එම රටේ එකී භාණ්ඩය නිෂ්පාදනයට අදාල නීතියට අනුකූල විය යුතු වන අතර වනාන්තර වලින් ප්‍රභාවය ලැබූ නිෂ්පාදන උදෙසා සෘජුවම අදාළ වූවක් නොවිය යුතුය.
 දේශීය නීතියට  අනුකූල වීමේ අවශ්‍යතාව 
යුරෝපා සංගමය නිකුත් කළ නියාමන නීතිවලට අනුව යමින් අදාළ නීතියෙන් පහත සඳහන් ක්ෂේත්‍රයන් ආවරණය විය යුතුය. පළමුව භූමි පරිභෝග අයිතිය, දෙවැන්න පාරිසරික ආරක්ෂාව, තුන්වැන්න වනාන්තර කළමනාකරණය හා ජෛව විවිධත්වය සංරක්ෂණය ඇතුළු වනාන්තර සම්බන්ධ නීති ඒවා සෘජුවම දැව අස්වනු  නෙලීමට සම්බන්ධ වන අවස්ථාවන්ට සම්බන්ධ වන්නේය.
සිව්වැන්න අදාළ නිෂ්පාදන නිෂ්පාදනය වෙළඳාම සහ අපනයනය කරන තුන්වැනි පාර්ශ්වයේ අයිතිවාසිකම්ය. 
පස්වැන්න මෙම ක්‍රියාකාරකම්වලට හවුල්වන ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්. හයවැන්න ජාත්‍යන්තර නීතිය යටතට ගැනෙන මානව අයිතීන් ආරක්ෂණයන්. සත්වැන්න දේශීය ජනතාවගේ අයිතිවාසිකම්. අටවැන්න දේශීය ජනතාවගේ අයිතිවාසිකම්වලට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය ඇතුළු නිදහස හා පූර්ව දැනුවත් කැමැත්ත යන මූලධර්මයන්ය. නවවැන්න බදු  දූෂණ විරෝධී වෙළඳ හා රේගු නියාමයන්ය. 
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට ගැටලුව වන්නේ මේ සියලුම කරුණු තනි නීතියකින් ආවරණය නොවීම හා ඒවා කාලයෙන් කාලයට ක්‍රියාත්මක වූ එකිනෙකට වෙනස් අධිකරණ නීති සම්පාදනයන් තුළ සොයා ගැනීමට වීමයි. එම නිසා ඒවා ක්‍රියාත්මක කරනුයේ එකිනෙකාට වෙනස් බලාධිකාරීන් වලිනි. නිසි පරිදි භාණ්ඩ සකසා ඉදිරිපත් කළ යුතු බැවින් එම භාණ්ඩ අදාළ සියලු නීතිවලට අනුකූලව ඉදිරිපත් කොට තිබේද යන්න පරීක්ෂා කොට සහතික කෙරෙන ක්‍රමවේදයක් තිබිය යුතුය. මගේ මතයට අනුව EUDR යුරෝපා සංගමයේ වනාන්තර විනාශයට අදාළ නියාමන නීති වල අවශ්‍යතාවයන්ට ගැලපේද යන්න පරීක්ෂා කිරීම අතිශය සංකීර්ණ කාර්ය පරිපාටියකි. ඒ සඳහා මෙහෙයුම්කරුවන් සහ අලෙවිකරුවන් ක්‍රියාදාම රාශියකට මුහුණ දිය යුතු වන අතර එමගින් ඔවුන්ගේ පිරිවැයද සැහෙන තරමින් ඉහළ යයි. 
නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ බවට සහතික කරමින් මෙහෙයුම් කරුවන් දෙන ප්‍රකාශය සම්පූර්ණ කිරීම වියදම් හා කාලය වැය කළ යුතු සංකීර්ණ ක්‍රියා මාර්ගයකි. ඒ සඳහා එවැනි වගන්තියට අනුකූල දත්ත ලේඛන හා විස්තර සහිත තොරතුරු අඩංගු විය යුතුය. 10 වැනි වගන්තියට අදාළ අවදානම් ඇගයුම් කිරීමේ තොරතුරු තිබිය යුතුය. 11 වැනි වගන්තිය පරිදි අවදානම සමනය කිරීමේ පියවර සඳහන් විය යුතුය. භාණ්ඩ නිෂ්පාදනය කරන ලද භූමියේ ස්ථානගත වීමට අදාළ ඛණ්ඩාංක ඇතුළු සැපයුම් දාමයට අදළ විශාල පරාසයක තොරතුරු ඒකරාශි කර ගත යුතුවේ. 
මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පිටස්තර පාර්ශ්වයන් භාවිතා කිරීමද මෙහෙයුම් කරුවන් විසින් කළ යුතුය. අවදානමට අදාළ කොටසද සැපයුම් කරන ලද නිෂ්පාදනය අවදානම විස්තාරාත්මකව විශ්ලේෂණය කරන්නකි. එම භාණ්ඩ වනාන්තර හෙළි කිරීම්වලට අදාළ හා අනවසර දැව ප්‍රවාහනය සම්බන්ධ පැමිණිලිවලට භාජන වීමේ අවදානමෙන් තොර බව සහතික කළ යුතුය. අවදානම සමනය කිරීමේ ක්‍රියා දාමයේදී ද නිෂ්පාදනය අවාදනම් සහගත වර්ගකරණයට වැටෙන්නේ නම් එම අවස්ථාවට මුහුණ දෙන ආකාරයද මෙහෙයුම් කරු සඳහන් කළ යුතුය. මේ සියල්ල කළ නොහැකිනම් එම නිෂ්පාදන යුරෝපා සංගමයේ රටවලට අලෙවි කළ නොහැකි වේ. 
අදාළ නිෂ්පාදන වනාන්තර විනාශයෙන් තොරව නිසි පරිදි නිෂ්පානය කර ඇති බවට දෙන සහතිකය ලබාදීමට යුරෝපා සංගමයට අයත් සෑම රටක්ම විශේෂ අධිකාරියක් පිහිටුවිය යුතුය. මෙය අනවශ්‍ය නිලධාරී ආධිපත්‍යයෙන් යුතු ව්‍යුහයක් සහ නිලධාරීවාදී ක්‍රිමයකි. ඒවා පිහිටුවනු ලබන්නේ පාරිසරික අවශ්‍යතාවන්ට සහයෝගය දීම සඳහා වුවද එය බදු ගෙවන්නන්ගේ සහ මෙහෙයුම් කරුවන්ගේ පිරිවැය ඉහළ යන කටයුතු වන්නේය. 
 අනුගත නොවන අයට  දැඩි දඬුවම් 
මෙම නීතිවලට අනුගත නොවන මෙහෙයුම් කරුවන්ට දඬුවම් පැමිණවීම නියමිතය. එහිදී පරිසරයට කරන ලද හානියට හා අදාළ නිෂ්පාදන භාණ්ඩවල වටිනාකමට සාපේක්ෂව දඩ නියම කරනු ඇත. පුණ පුණා කරනු ලබන උල්ලංඝන කිරීම් වලක්වාලීම සඳහා දඩ මුදල් වැඩි කිරීමට ඉඩ තිබේ. කලින් වසර තුලදී මෙහෙයුම් කරුවා හෝ අලෙවිකරුවා යුරෝපා සංගමය නිසා ලද සමස්ත පිරිවැටුමෙන් සියයට 4ක උපරිම දඩයක් එහිදී නියම කළ හැකිය. 
උදාහරණයකට රබර් අපනයනකරුවා තම නිෂ්පාදන යුරෝපා සංගමයේ සියලුම සමාජික රටවලට අපනයනය කර තිබේ නම් හා ඔහු තනි රටකින් පැමිණිලි ලබා නොමැති නම් එවිට දඩය සියලුම රටවලින් ලැබූ පිරිවැටුමෙන් සියයට 4කි. අදාළ භාණ්ඩ රාජසන්තක කිරීමද තවදුරටත් කළ හැකිය. 
අදාළ අවශ්‍යතා උල්ලංගනය කිරීම මෙහෙයුම්කරුවා විසින් යළි යළිත් කළ හොත් අදාළ ක්‍රියාකාරකම් භාර ගැනීම ඔහුට තාවකාලික තහනම් කරනු ලැබේ. මෙය යුරෝපා සංගමය වෙත රබර් අපනයනය කරනු ලබන ශ්‍රී ලංකිකයන් විසින් බැරෑරුම් ලෙස ගණන් ගත යුතු කාරණයකි. 
 ඉහළම ප්‍රමුඛතාව දිය යුතු  කාරණයකි 
එම නිසා යුරෝපා සංගමය වෙත රබර් අපනයනය කරන්නන් මෙම කරුණුවලට අනුව කටයුතු කිරීම උදෙසා ඉහළම ප්‍රමුඛතාව දීමට සූදානම් විය යුතුය. මෙකී නීතියට අනුගතව ක්‍රියා නොකිරීම තහනම් කළ විට මේ වනවිටත් ට්‍රම්ප්ගේ සියයට විස්සේ තීරු බද්දෙන් අඩපන වී ඇති ශ්‍රී ලාංකීය රබර් අපනයනකරුවන් කබලෙන් ලිපට වැටෙනු ඇත.
2025 ඔක්තෝබර් 13 Daily FT පළවූ EUDR what is it and what are its implications ලිපියේ පරිවර්තනය 
සමන් පුෂ්ප ලියනගේ
රබර් අපනයනකරුවන් කබලෙන් ළිපට