2035 වන විට රක්ෂණයේ දළ ජාතික නිෂ්පාදනයේ පංගුව තුන් ගුණයක් දක්වා ඉහළට
භානුක අමරසිංහ
|
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු |
වර්තමානයේදී රටෙහි දළ ජාතික නිෂ්පාදිනයෙන් සියයට 1ක් පමණ වන රක්ෂණයේ පංගුව වසර 2035 වන විට තුන් ගුණයක් බවට පත් කිරීම සිය අරමුණ බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසයි.
ඒ හරහා රට තුළ පවතින රක්ෂණ පරතරය අඩුකිරීම සැලසුම වන බවත්, ඒ සඳහා කුලුනු හතක වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙන බවත්, එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
පසුගියදා කොළඹදී පැවැත්වුණු මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම 2030 සහ 2035 වැඩසටහනට එක් වෙමින් ඇය මෙම අදහස් දක්වා සිටියාය.
“රක්ෂණ කර්මාන්තය සතු වත්කම් අද වන විට රුපියල් ට්‍රිලියන 1.4 කට අධිකයි. එය රැකියා 69,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා සහාය දක්වනවා. ජීවිත හා සාමාන්‍ය යන දෙඅංශයෙන්ම වාර්ෂිකව ගෙවන හිමිකම්වල වටිනාකම රුපියල් බිලියන 172 ක් පමණ වෙනවා. 2025 වසර සඳහා පමණක් මේ අංශ දෙක යටතේ ගෙවූ රක්ෂණ වාරිකවල වටිනාකම රුපියල් බිලියන 380 ක්.”
මෙම රක්ෂණ වාරිකවල වටිනාකම වාර්ෂිකව සියයට 14ක වර්ධනයක් සමගින් 2030 වන විට රුපියල් බිලියන 700 ක් කරා ගමන් කරවීම සිය ඉලක්කය බවද ඇය මෙහිදී සඳහන් කළාය.
“ඒත් අද අපි බැලුවහොත්, අපේ රටේ රක්ෂණ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ට වඩා තරමක් ඉහළින් පවතින්නේ. ඉන්දියාවේ එය සියයට 3.7 ක්, තායිලන්තයේ සියයට 5 ක්, මැලේසියාවේ එය සියයට 4.8 ක්. මේ පරතරය දුර්වලතාවක් නෙමෙයි. එය අසාමාන්‍ය තත්වයක්.”
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව 2004 දී සුනාමිය, 2017 දී ගංවතුර සහ 2025 දී දිට්වා සුළි කුණාටුව යන ස්වාභාවික විපත් හරහා තීරණාත්මක ස්ථානයක සිටින බැවින් මෙම රක්ෂණ පරතරය අවම කිරීම අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය.
“2030 වන විට දළ ජාතික නිෂ්පාදනය තුළ රක්ෂණයේ පංගුව සියයට 2ක් දක්වා වර්ධනය කරගැනීමත්, 2035 වන විට එය තුන් ගුණයක් දක්වා වැඩි කරගැනීමත් ඉලක්කයයි. ආදායම, පසුබිම, රැකියා තත්වය හෝ වෙනත් ඕනෑම දෙයක් නොසලකා සෑම ශ්‍රී ලාංකිකයකුටම දැරිය හැකි, ප්‍රවේශ විය හැකි සහ විශ්වාසදායක රක්ෂණයක් ලබා ගැනීම සහතික කිරීම අපේ අපේක්ෂාවයි.”
රට තුළ රක්ෂණ පරතරය අඩු කිරීමට සැලසුම්