විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 7දී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 2.73 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව සියයට 26.5 ක වර්ධනයක් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
පළමු මාස 7 රජයේ සමස්ත ආදායමෙන් සියයට 93 ක් බදු ආදායමෙන් උපයා ඇති බවත් ඉතිරි සියයට 7 ක ප්‍රතිශතය බදු නොවන ආදායමෙන් උපයා ඇති බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. පසුගිය වසරේ පළමු මාස 7 තුළ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 2.16 ක් ලෙස සටහන්ව තිබිණි.
කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස 7තුළදී රජයේ වියදමද රුපියල් ට්‍රිලියන 3.29 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ පළමු මාස 7තුළදී රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.03 ක් විය. මෙම වසරේ රජයේ වියදමෙන් සියයට 91 ක් පැවැත එන වියදම් බවත් ඉතිරි සියයට 9 ප්‍රාග්ධන හා ශුද්ධ ණයදීම් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
මෙම වසරේ පළමු මාස 7තුළ රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.53 ක් වූ අතර එය පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව සියයට 28.2 ක වර්ධනයක් විය. පසුගිය වසරේ පළමු මාස 7දී රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.97ක් වූවේය. මෙම වසරේ බදු ආදායමෙන් රුපියල් ට්‍රිලියන 1.64ක් උපයා ඇත්තේ භාණ්ඩ හා සේවා මත බදු පනවමින් බවත් තවත් රුපියල් බිලියන 525 ක් උපයා ඇත්තේ ආදායම් බදු පැනවීමෙන් බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම තවත් රුපියල් බිලියන 363 ක ආදායමක් උපයා ඇත්තේ බාහිර වෙළෙඳාම මත පැනවූ බදුවලින් බවද එහි දැක්වේ.
එහිදී එකතු කළ අගය මත බද්දෙන් රුපියල් බිලියන 935ක ආදායමක් රජය උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 27.5 ක වර්ධනයක් බවත් එහි සඳහන් වේ. එසේම රජයේ ආදායම් බදු ආදායමද පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7දී සියයට 8.3 කින් වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම වසරේ පළමු මාස 7දී රජයේ ප්‍රධාන ආදායම් මුලාශ්‍ර තුනෙන් රජයේ බදු ආදායමට සියයට 55 ක දායකත්වයක් ලබාදී තිබෙන බවත් ඉන් වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව බවත් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
රේගුව ලබාදුන් දායකත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 48 කි.
රේගුවෙන් මෙම වසරේදී රුපියල් ට්‍රිලියන 2.11 ක ආදායමක් උපයා ගැනීමට හැකිවෙතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් ඉන් පළමු මාස 7දී රුපියල් ට්‍රිලියන 1.21 ක සියයට 57 ක ආදායමක් රේගුව උපයා තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේදී රුපියල් ට්‍රිලියන 2.19 ක ආදායමක් උපයනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් පළමු මාස 7දී ඉන් සියයට 53 ක ප්‍රතිශතයක් රුපියල් ට්‍රිලියන 1.16 ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයා තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙම වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 242 ක ආදායමක් උපයනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් පළමු මාස 7දී ඉන් සියයට 52 ප්‍රතිශතයක් රුපියල් බිලියන 127 ක ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව උපයා තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
රේගුව මෙම වසරේ පළමු මාස 7 තුළදී ඉපැයූ රුපියල් ට්‍රිලියන 1.21 ක ආදායමෙන් සියයට 31 ක් උපයා ඇත්තේ තීරුබදු ආදායමෙන් බවත් තවත් සියයට 36 ක ප්‍රතිශතයක් උපයා ඇත්තේ ආනයන මත පැනවූ එකතු කළ අගය මත බද්දෙන් බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම තවත් සියයට 10 ක් උපයා ඇත්තේ ආනයන බදු වලින් බවද එහි සඳහන් වේ.
සියයට 31 තීරුබදු ආදායමෙන් සියයට 52 උපයා ඇත්තේ මෝටර් වාහන සඳහා පැනවූ තීරුබදු වලින් බවත් තවත් සියයට 32ක ප්‍රතිශතයක් උපයා ඇත්තේ පෙට්‍රෝලියම් නිෂ්පාදනවලින් බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම තවත් සියයට 14 ක ප්‍රතිශතයක් උපයා ඇත්තේ සිගරට් මත පැනවූ තීරුබදු වලින් බවද එහි සඳහන් වේ.
මෙම වසරේ පළමු මාස හතේදී රේගුව ආනයන මත පැනවූ එකතු කළ අගය මත බද්දෙන් රුපියල් බිලියන 432 ක ආදායමක් උපයා තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව එය 37 ක වර්ධනයක් බවත් එම වාර්තාවේ දැක්වේ.
එසේම මෙම වසරේ ඇස්තමේන්තුගත සමස්ත ආදායමෙන් සියයට 56 ක ප්‍රතිශතයක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන්නේ භාණ්ඩ හා සේවා මත පැනවූ බදුවලින් බවත් තවත් සියයට 23 ක ප්‍රතිශතයක ආදායමක් උපයා ගැනීමට බලපොරොත්තු වන්නේ ආදායම් බදුවලින් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
රජයේ සමස්ත ආදායමේ සියයට 26.5 ක වර්ධනයක්