IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්

 


නිමල කොඩිතුවක්කු


රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙස සාමාජිකයන් ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු කටයුතු කරති.
රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකරණයකින් යුතුව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර පවත්වා ගෙන යාමට අවශ්‍ය නව නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා ‘රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත’ නමින් මූලික කෙටුම් පතක් මේ වන විට සකස් කර ඇත. එමගින්, රාජ්‍ය ව්‍යවසාය සම්පුර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් ඉවත් කිරීමටත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වෘත්තීය සුදුසුකම් සහිත ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් ඇති වෘත්තිකයන් පත් කිරීමටත් හැකි වනු ඇත.
මහා භාණ්ඩාගාරයට සහ රටේ ආර්ථිකයට අඛණ්ඩව වැය බරක් නොවී දේශීය හෝ විදේශීය ආයෝජනවල සහාය ඇතිව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කර මනා පාලනයකින් යුතුව පවත්වා ගත යුතු බව හඳුනා ගෙන තිබේ.
ඒ සඳහා කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුත් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය වේ.
ඒ අනුව, එකී මූලික කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, එකී මූලික කෙටුම්පත සමාලෝචනය කර තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site