විමුක්ති එස් රුද්‍රිගු
ඉදිරි වසර 5ක කාලයේදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කය වන්නේ සාර්ව ආර්ථික වර්ධනය සහ ස්ථාවරය යථා තත්වයට පත්කිරීම සඳහා ගන්නා උත්සාහයට සහායවීම බව පසුගියදා නිකුත් කෙරුණු 2026 රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ සඳහන් වේ.
එම උත්සාහයට සහාය වන අතරතුර ආදායම ඉහළ නැංවීම, වියදම් ඉහළ යාම පාලනය කිරීම සහ එමගින් දළ මූල්‍යයන අවශ්‍යතා අවම කිරීමෙන් රාජ්‍ය ණය තිරසාර මට්ටමකට පැමිණෙන තෙක් පාලනය කිරීමටත්, රාජ්‍ය ණය මට්ටම පහළ හෙළීමටත් බලාපොරොත්තු වන බව එම වාර්තාවේ දැක්වේ. රාජ්‍ය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට දැඩි කැපවීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බවත්, එම අරමුණ ඉටුකර ගැනීම සඳහා වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක කරනු ලබන දැඩි උත්සාහයක් අවශ්‍ය බවත් එහි සඳහන් වේ.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගැනීමේදී ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් සංවර්ධන පාර්ශ්වකරුවන් සමග ඇතිකරගත් ගිවිසුම් සහ කොන්දේසිද සැලකිල්ලට ගනු ඇති බව එම වාර්තාවේ දැක්වේ.
රාජ්‍ය ණය තිරසාර මට්ටමට අඩු කිරීම සහ එම තිරසාර මට්ටමේ පවත්වා ගෙන යාම රාජ්‍ය මූල්‍ය වගකීමේ ප්‍රධානතම අංගයක් බවද එහි සඳහන් වේ. අනාගතයේදී ඇතිවිය හැකි අවදානම්, අවිනිශ්චිතතා සහ අභියෝගවලට වඩා හොඳින් සූදානම්වීමට නම් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 ට වඩා අඩු ආරක්‍ෂිත මට්ටමක ගෙන ආ යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය ණය තවදුරටත් පහළ දැමිය යුතු බවත් එම වාර්තාවේ දැක්වේ.
නවතම පුරෝකථනවලට අනුව රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට 2040 වසරේ මුල් භාගයේදී හැකියාව ලැබෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. එසේම ඉදිරි වසර 5 ක කාලයේදී අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගෙන යාමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන බව එම වාර්තාවේ දැක්වේ. ලබන වසරේදී අයවැය සඳහා ප්‍රාථමික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.9 ක් බවත්, 2028 - 2030 වසරවල අයවැය සඳහා ප්‍රාථමික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් බවත් රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ සඳහන් වේ.
ලබන වසරේ ප්‍රාථමික වියදම්වලට අදාළ නාමික සීමාව රුපියල් බිලියන 4,470 ක් බවද එහි දැක්වේ. ලබන වසරේදී සහ ඉන් ඔබ්බට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 කට වඩා වැඩිකර ගැනීමට රජය ඉලක්ක කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.
ලබන වසරේදී රජයේ ආදායම සහ ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක් වර්ධනය වනු ඇති බවත්, එය 2030 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක් දක්වා වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ දැක්වේ. එහිදී රජයේ බදු ආදායම ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14.1 දක්වා වර්ධනය වනු ඇති බවත්, එය 2030 වසර වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14.2 දක්වා ඉහළ යනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
රජයේ සමස්ත වියදම ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20.8 දක්වා අඩුවනු ඇති බවත්, එය 2030 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19.2 දක්වා තවත් පහළ යනු ඇති බවත් රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දැක්වේ.
රාජ්‍ය ණය ආරක්ෂිත මට්ටමට එන්නේ 2040 දී - 2026 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය