IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුනියන් ඇෂුවරන්ස් ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් අත්හරී

 


භානුක අමරසිංහ


යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම සතුව තිබූ ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගමේ සියයට 22ක කොටස් හිමිකාරීත්වය අලෙවි කළ බව එම සමාගම පවසයි. ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව පවසා සිටියි.

මෙය ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය කොටස් අතරින් 30,800,000කි. මෙහිදී අදාළ කොටස් ෆෙයාර්ෆැක්ස් ෆයිනෑන්ෂියල් හෝල්ඩිංග්ස් ලිමිටිඩ් සමූහයෙහි පරිපාලිත සමාගමක් වන ෆෙයාර්ෆැක්ස් ඒෂියා ලිමිටඩ් වෙත අලෙවි කර ඇති අතර, එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.63ක් (2,638,079,877ක්) ලෙස සටහන්ව තිබේ. 

යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ සියයට 90ක කොටස් හිමිකාරීත්වයක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය සතු වන අතර, ඒ අනුව ජීවිත නොවන රක්ෂණ අංශයේ මෙහෙයුම් සිදු කළ මෙම ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් සමාගම ජෝන්කීල්ස් සමූහයේ සහකාර සමාගමක් ලෙසද සැලකුණි. 

1988 වසරේදී ආරම්භ වුණු එම සමාගම මීට පෙර යුනියන් ඇෂුවරන්ස් ලෙසින් හැඳින්වුණු අතර, රක්ෂණ සමාගම් ජීවිත සහ සාමාන්‍ය ලෙස කාණ්ඩ දෙකකට බෙදීමත් සමගින්ම ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් බිහි විය. මෙම ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් කැනඩාවේ පිහිටි ෆෙයාර්ෆැක්ස් ෆයිනෑන්ෂියල් හෝල්ඩිංග්ස් ලිමිටිඩ් සමූහයෙහි පරිපාලිත සමාගමකි.

 



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site