IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව 4 වැනි වසරටත් විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක්

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, විශිෂ්ට නායකත්ව ගුණාංග සහ සිය අදාළ කාර්යභාරය ජයග්‍රාහී ලෙස ඉටුකිරීමට සේවකයන් සවිබල ගන්වන සේවාස්ථාන සංස්කෘතියක් වැඩිදියුණු කිරීම සඳහා දක්වන සිය කැපවීම උදෙසා යළිත් වරක් ඇගයීමට ලක්ව ඇත. සේවක පිරිස සම්බන්ධයෙන් සමාගම විසින් අඛණ්ඩව සිදු කරනු ලබන ආයෝජනය සහ සැබෑ නායකත්වය ඔස්සේ අර්ථවත් ප්‍රගතිය පවත්වා ගැනීමට එය නිරතුරුව දක්වන අවධානය උදෙසා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති 2024 වසරේ විශිෂ්ට කළමනාකරුවන් සඳහා වූ සම්මාන උළෙල (Great Managers Awards 2024) මගින් සමාගමට ඇගයුම් සැමරුම් පිරිනමනු ලැබිණි.
CLA Coaching & Consulting Inc. විසින් පවත්වන ලද විශිෂ්ට කළමනාකරුවන් සඳහා වූ සම්මාන වැඩසටහන මගින්, ව්‍යාපාර වර්ධනය මෙහෙයවීම, ආයතනික අරමුණු සමග තනි පුද්ගල දායකත්වය සමපාත කිරීම, වඩා ඉහළ කාර්යසාධනය සඳහා මගපෙන්වීම, ඵලදායී කණ්ඩායම් ගොඩනැගීම සහ නායකත්වයේ ඒකාග්‍රතාව රඳවා ගැනීම ඇතුළු මූලික ඇගයුම් නිර්ණායක පහක් පුරා කාර්යසාධනය තක්සේරු කරමින් කළමනාකාරිත්ව නායකත්වයේ ඵලදායීතාව මැනීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.
යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව සිව්වැනි වසර සඳහාත් ‘විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස ගෞරව ප්‍රණාමයට පාත්‍ර කරනු ලැබුවේ, දස්කම් හඳුනා ගනිමින්, විශිෂ්ටත්වය අගයමින් සහ පුද්ගල මෙන්ම වෘත්තීය වර්ධනය සඳහා ද ඉඩ සලසන එහි ඉදිරිගාමී චින්තනයක් සහිත ජනතා උපායමාර්ගය අගයමිනි. එකිනෙකා වෙනුවෙන් සුවිශේෂ ලෙස සැකසූ මෙවලම් සහ නායකත්ව අවස්ථා සහිතව කුසලතා පාදක ක්‍රියාකාරීත්වය සහ සහයෝගය මත ගොඩනැගෙන මෙවැනි පරිසරයක් තුළදී තමන්ට අනන්‍ය වූ සුවිශේෂ ප්‍රගතියේ මංපෙත් වෙත යොමුවීමට සේවකයන්ට පෙළඹවීමක් ඇති වෙයි. 
මෙම වසරේ, විශිෂ්ටයන් සත් දෙනෙක් සිය නායකත්ව කටයුතු වෙනුවෙන් ඇගයීමට ලක් වූහ. සහකාර උප සභාපති - මෙහෙයුම්/ ජීවිත මෙහෙයුම්, චරිත බොතේජු, ‘නායකත්ව ඒකාග්‍රතා හා සමස්ත ප්‍රවේශය පිළිබඳ විශිෂ්ට කළමනාකරු’ (Great Manager for Leadership Integrality an Holistic Approach) සඳහා වන සම්මානය හිමිකරගත් අතර, සහකාර උප සභාපති - ප්‍රතිලේඛන අනුර හෙට්ටිකන්ද ‘ආයතනික දැක්මට අනුකූලව කටයුතු කිරීම සඳහා විශිෂ්ට කළමනාකරු’ (Great Manager for Aligning Organisation Vision) ලෙස ඇගයුමට පාත්‍ර විය. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - නියෝජිතායතන බෙදාහැරීම්, කෝකිලන් කනපතිපිල්ලේ මෙන්ම ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු, නිමලරාජ් තංගතුරෙයි ‘ප්‍රතිඵල හා ක්‍රියාකාරීත්ව විශිෂ්ටත්වය පවත්වාගෙන යෑම’ (Great Manager for Driving Results and Execution Excellence) සඳහා සම්මාන හිමිකර ගත්හ. ජ්‍යෙෂ්ඨ කළමනාකරු - දත්ත ඉංජිනේරුකරණය හා විශ්ලේෂණ, කසුන් රත්නායක ‘කණ්ඩායම් ඵලදායීතාව හා සහයෝගිතාව ගොඩනැංවීම සඳහා විශිෂ්ට කළමනාකරු’ ලෙස ඇගයුමට පාත්‍ර වූ අතර (Great Manager for Building Team Effectiveness and Collaboration), ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ඩිජිටල් යෙදවුම් එෂාන් ද සිල්වා ‘විශිෂ්ට සහශ්‍ර කළමනාකරු’ (Great Millennial Manager) ලෙස ඇගයුමට පාත්‍ර විය. එයට අමතරව, කළමනාකාරිණී - සන්නාමකරණ හා සන්නිවේදන, වෙනුරි උඩවත්ත ‘ආයතනික දැක්මට අනුකූලව කටයුතු කිරීම සඳහා විශිෂ්ට කළමනාකරු’ (Great Manager for Aligning Organisation Vision) සම්මානය හිමිකර ගත්තාය.
මේ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් සමාගමේදී නායකත්වය තනතුරු නාමයකට සීමා වෙන්නේ නැහැ. එය ආයතනයේ සෑම මට්ටමකටම සම්බන්ධ වී තිබෙන සංස්කෘතියක්. සහයෝගය, මගපෙන්වීම, සහ දියුණුවීමේ අවස්ථා සහිත සවිමත් පදනමක් ඔස්සේ පුද්ගල මෙන්ම වෘත්තීය මට්ටමෙන් ද ජයග්‍රාහීව ඉදිරියට යෑම සඳහා මේ සමාගම සිය කළමනාකරුවන් සවිබල ගන්වනවා. අපගේ සේවක පිරිසේ ශක්තිය සහ වඩා යහපත් දේශයක් උදෙසා වෙනසක් ඇති කිරීම සඳහා පුද්ගලයන් සවිබල ගැන්වූ අපගේ නොසැලෙන විශ්වාසය මේ ඇගයීමෙන් පිළිබිඹු වෙනවා. අපගේ විශිෂ්ට කළමනාකරුවන්ට සුබ පතන අතරම, ඔවුන්ගේ සියලු‍ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා”.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව 4 වැනි වසරටත් විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site