IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මහජන සම්බන්ධතා කර්මාන්තයේ අභියෝග

මෙම ලිපියේ මුල් කොටස 17 වැනිදා පත්‍රයේ පළවිය.

ශ්‍රී ලංකාව ආශ්‍රිත PRCA APAC සමීක්ෂණ ප්‍රතිඵල නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසක් (සියයට 66කට වඩා වැඩි පිරිසක්) විශ්වාස කරන පරිදි, සේවාදායකයන් විසින් මහජන සම්බන්ධතා භූමිකාව සහ එහි සැබෑ බලපෑම වටහාගෙන ඇත්තේ ‘යම් දුරකට‘ පමණක් බවයි. එකින් එක පිටුපස පැමිණි සමීක්ෂණ වාර්තා පුරාම මෙම අගය සැලකිය යුතු ලෙස වෙනස් වී නොමැත. යම් අවස්ථාවක දී කර්මාන්තය තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුත්තේ, සේවාදායකයාගේ එම වැටහීම වෙනස් කිරීමට තමන් කිසියම් පියවරක් ගන්නේද, නැතහොත් අවබෝධයක් නොමැති සේවාදායකයකු කළමනාකරණය කිරීම එක්තරා පරස්පර විරෝධී ආකාරයකින් තමන්ට වඩාත් පහසු යැයි උපකල්පනය කර නිහඬව සිටින්නේද යන්නයි.

  • පිටතට නොපෙනෙන සම්බන්ධතා සහ ලේඛනගත නොකළ ගිවිසුම් 

මෙම කර්මාන්තය තුළ පෞද්ගලිකව කතාබහට ලක්වන, එහෙත් කිසිදා ප්‍රසිද්ධියේ සාකච්ඡා නොවන කරුණක් පවතී. එය දැන් ලියා තැබිය යුතු කාලයයි. ශ්‍රී ලංකාව තුළ සේවාදායකයන්ගේ වැඩ කටයුතු බෙදී යන්නේ මූලිකවම දක්ෂතාව හෝ හැකියාව මත හෝ නොවේ. එය තීරණය වන්නේ පුද්ගලික සබඳතා මතය. ඇතැම් මහජන සම්බන්ධතා ආයතන සමහර සේවාදායකයන් රඳවාගෙන සිටින්නේ ඔවුන් විවෘත තරගකාරී ක්‍රියාවලියකින් ජයග්‍රහණය කළ නිසා හෝ සුවිශේෂී දක්ෂතාවක් පෙන්නුම් කළ නිසා නොවේ. ඒ වෙනුවට මහජන සම්බන්ධතා ආයතනයේ ප්‍රධානියා සහ සේවාදායක සමාගමේ ජ්‍යෙෂ්ඨතම අලෙවිකරණ තීරණ ගන්නා පුද්ගලයා වසර පහළොවක් තිස්සේ එකිනෙකා දැන හැඳිනීමත් සහ එම විධිවිධානය වෙනස් කිරීමට දෙදෙනාටම කිසිදු අවශ්‍යතාවක් නොමැති නිසාය.

කලාපය පුරා පවතින ආයතන තේරීමේ ක්‍රියාවලි පිළිබඳ Campaign Asia ආයතනය සිදු කළ ගවේෂණවලින් හෙළි වී ඇත්තේ, වංචනික කොමිස් මුදල්, අවධිමත් මූල්‍ය විධිවිධාන සහ හිතවත් සැපයුම්කරුවන්ට මුල් තැන දීමේ ප්‍රවණතා නිසා, ආයතන තේරීමේදී කුසලතාව මත පදනම් විය යුතු තීරණ විකෘති වන ආකාරයයි. විශාල වෙළෙඳපොළවල් තුළ මහජන සම්බන්ධතා ආයතන සහ මාධ්‍ය හවුල්කරුවන් අතර පවතින අනාවරණය නොකළ එකඟතා කෙතරම් ව්‍යාප්ත වී ඇත්ද යන්න Association of National Advertisers හි අධ්‍යයන මඟින් හෙළි කර ඇත. ශ්‍රී ලංකාවේදී මෙහි ස්වභාවය මූල්‍යමය වීමට වඩා සබඳතා මත පදනම් වූවක් වුවද, වෙළෙඳපොළට ඉන් සිදුවන බලපෑම සමානය. සැබෑ හැකියාවක් ඇති නවකයන්ට, මෙවැනි සංවෘත සමාජ ජාල මගින් පාලනය වන ක්ෂේත්‍රවලට ඇතුළු විය නොහැක. සාධාරණ ලෙස මිල ගණන් ඉදිරිපත් කරන සහ දැඩි කැපවීමෙන් තරග කරන ආයතන, පුද්ගලික සබඳතා ඇති පැරණි ආයතන හමුවේ පරාජය වේ. මෙම ජාලවල සිටින මිනිසුන් මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍යකරණය කර ඇත. ඉන් පිටත සිටින අය තමන් අතින් සිදු වූ වැරැද්ද කුමක්දැයි තේරුම් ගැනීමට වසර ගණනාවක් වෙහෙසෙති. එහෙත් සැබෑ පිළිතුර ඔවුන්ගේ කාර්යයේ ගුණාත්මකභාවය සමග කිසිදු සම්බන්ධයක් නැත.

මෙයින් සේවාවේ ගුණාත්මකභාවයට සිදුවන හානිය ඉතා සෙමින් සිදුවන්නක් වන අතර, මුළු කර්මාන්තය දෙසම සමස්තයක් ලෙස බලන තෙක් එය හඳුනා ගැනීම අපහසුය. සේවාදායක සබඳතාවක් රඳවා ගැනීමේ ප්‍රධානතම යාන්ත්‍රණය, පෙන්විය හැකි සාර්ථක ප්‍රගතිය වෙනුවට පුද්ගලික පක්ෂපාතීත්වය වන විට, සේවාදායකයාගේ චින්තනයට අභියෝග කිරීමට ඇති උනන්දුව සහ පෙළඹවීම නැති වී යයි. ඔබගේ වැදගත්ම රැඳවුම් ගිවිසුම ආරක්ෂා කරන එකම සාධකය යමෙකුගේ හිතෛෂීභාවය පමණක් නම්, ඔබ ඔවුන්ගේ සැලැස්මට කිසිවිටෙකත් ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කරන්නේ නැත. ඔබ කරන්නේ ඔවුන් ඉල්ලන දේ පමණක් ඉටු කර, වාර්තාවක් ලබා දී, තමන්ට සැබවින්ම ලබා දිය හැකිව තිබූ වෘත්තීය වටිනාකම නිහඬවම ක්ෂය වීමට ඉඩ හැරීමයි. කාලයත් සමග සමස්ත ක්‍රියාවලිය පුරාම සිදුවන්නේ මෙය වන අතර, වෘත්තිය ලෙස එහි ඇති සෘජු බව සහ ස්ථාවරත්වය ගිලිහී යන්නේ මෙලෙසිනි.

  • PR තවමත් මෙහි උපායමාර්ගික මට්ටමට පත් නොවන්නේ ඇයි? ඉන් සේවය සැලසෙන්නේ කා හටද?

ලෝකයේ මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රවීණයන්ගේ කතාබහ දැන් එකම දිශාවකට යොමු වී තිබේ. PRovoke PRovoke Media, PRCA, CIPR සහ Arthur W. Page Society වැනි ක්ෂේත්‍රය මෙහෙයවන සෑම ප්‍රමුඛ ආයතනයක්ම එකම මතය ඉතාමත් බැරෑරුම් ලෙස අවධාරණය කරයි. එනම්, සන්නිවේදනය යනු අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ ක්‍රියාවලියක් බවයි. වෘත්තිකයාගේ නිසි ස්ථානය පවතින්නේ හුදු ක්‍රියාවලි දාමයේ නොව, උපායමාර්ග සකස් කරන කාමරය තුළය. එහිදී ප්‍රධාන සන්නිවේදන නිලධාරියා නීති සහ මූල්‍ය අංශ සමඟ එකට අසුන් ගනිමින්, සංවිධානය ලෝකය දෙස බලන ආකාරය සහ එහි ස්ථාවරය තීරණය කරන සහයෝගී කර්තෘවරයෙකු ලෙස කටයුතු කරයි. Edelman Trust Barometer ආයතනය වසර ගණනාවක් තිස්සේ පර්යේෂණාත්මකව ඔප්පු කර ඇත්තේ, පාර්ශවකරුවන්ගේ විශ්වාසය යනු ආයතනයක ආදායම, වටිනාකම සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන භෞතික වත්කම බවයි. 

දේශීය වෘත්තිකයන්ගෙන් බහුතරයකට, මහජන සම්බන්ධතා ආයතනයක් සමග මීට පෙර සමීපව කටයුතු නොකළ ව්‍යාපාරික නායකයකු ඉදිරියේ තමන්ගේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිපුණතාව තහවුරු කළ හැකි වෘත්තීය සුදුසුකම් නොමැත. ඔවුන් පිළිගත් සහතික ලත් අය හෝ වරලත් වෘත්තිකයන් නොවේ. බොහෝ අවස්ථාවලදී ඔවුන්ගෙන් මාධ්‍ය සැලසුමකට හෝ කාර්තුවක මාධ්‍ය වාර්තාවකට එහා ගිය ගැඹුරු උපායමාර්ගික චින්තනයක් බලාපොරොත්තු වීද නැත. මෙය පුද්ගලයන්ට කරන විවේචනයක් නොවේ. මෙය, තමන්ගෙන්ම මීට වඩා ඉහළ වෘත්තීය ප්‍රමිතියක් ඉල්ලා සිටිය හැකි ප්‍රගතිශීලී ව්‍යුහයක් ගොඩනැගීමට අපොහොසත් වූ, සමස්ත කර්මාන්තයකම කටුක පිළිබිඹුවකි. පවතින ව්‍යුහය විසින්ම එය ඉල්ලා නොසිටින තාක්, වෙළෙඳපොළ ඒ සඳහා කිසිවිටෙකත් ආයෝජනය කරන්නේද නැත. මන්ද, තමන් වෙත කිසිදිනෙක ඉදිරිපත් නොකරන වෘත්තීය වටිනාකමක් හඳුනා ගැනීමට හෝ ඇගයීමට ලක් කිරීමට වෙළෙඳපොළට නොහැකි බැවිනි. මීට අමතරව, මෙම තත්වය තවත් සංකීර්ණ කරන පුළුල් වෙළෙඳපොළ සාක්ෂරතාව පිළිබඳ ගැටලු‍වක්ද පවතී. වඩාත් දියුණු ආයතනික පාලන සංස්කෘතීන් ඇති අග්නිදිග ආසියානු ආර්ථිකයන්ට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර තවමත් සන්නිවේදනය සලකන්නේ ආයෝජනය කළ යුතු උපායමාර්ගික හැකියාවක් ලෙස නොව, පාලනය කළ යුතු පිරිවැයක් ලෙස පමණි. සේවාදායකයන් උපායමාර්ගික මහජන සම්බන්ධතා බලාපොරොත්තු නොවන බැවින්, ඔවුන් ඒ සඳහා ආයෝජනය කරන්නේ නැත. 

  • වෘත්තීය ආයතනය සහ ප්‍රවීණත්වයේ පවතින හිගය

ශ්‍රී ලංකාවට දැන් මෙම කර්මාන්තය උදෙසා නිල වෘත්තීය ආයතනයක් ස්ථාපිත කර ඇත. එය අතිශයින්ම තීරණාත්මක පියවරකි. මන්ද, එවැනි ආයතනයක් නොමැති වෙළෙඳපොළක් යනු ස්වයං-පාලනයක් සඳහා වන මූලික ව්‍යුහයකින් පවා තොර වූවකි. මෙතෙක් කල් එවැනි ආයතනයක් නොමැති වීම, කර්මාන්තයක් ලෙස අප තමන්ගේ වෘත්තීයමය තත්වය පිළිබඳව කෙතරම් අල්ප සිතීමකින් පසුවූයේද යන්න පෙන්වන සංඥාවකි. එබැවින් මෙම වෘත්තීය ආයතනය පිහිටුවීම සැබවින්ම ප්‍රශංසනීය ඉදිරි පියවරකි.
එහෙත් ප්‍රශ්නය පවතින්නේ, එම ආයතනය මෙම වැදගත්කම උපයෝගී කරගෙන සිදු කරන්නේ කුමක්ද යන්න මතය. මෙරට මහජන සම්බන්ධතා වෘත්තියේ දෛනික යථාර්ථය තීරණය කරන ප්‍රධාන ගැටලු‍ වන; වෘත්තිකයන් දැඩි ලෙස විඩාවට හා මානසිකව වැටීමේ ප්‍රවණතාව, දක්ෂයන් හෝ තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉඩ නොදෙන මිලකරණ ක්‍රමවේද, ඇතැම් සේවාදායක-ආයතන සහ ආයතන-මාධ්‍ය සබඳතා අතර පවතින සදාචාරාත්මක අළු කලාප, සහ බලාත්මක කළ හැකි කිසිදු අවම වෘත්තීය ප්‍රමිතියක් නොමැති වීම යන්න හුදු අතුරු ගැටලු‍ නොවේ.

මතු සම්බන්ධයි.

 



අදහස් (0)

මහජන සම්බන්ධතා කර්මාන්තයේ අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site