
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණයට අදාළ ගෙවීම් විද්‍යුත් ක්‍රමයට සිදුකිරීම සඳහා අන්තර්ජාල ගෙවීම් යාන්ත්‍රණයක් (Internet Payment Gateway - PG) ස්ථාපනය කිරීම වෙනුවෙන් මහජන බැංකුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය අත්වැල් බැඳගනි.
මේ සඳහා වන ගිවිසුම් අස්සන් කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය සහ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, අධිකරණ අමාත්‍යාංශ හා ජාතික ඒකබද්ධතා පරිශ්‍රයේදී පසුගියදා සිදුකෙරිණි. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ කාඩ්පත්) අයි.කේ. ඉන්දික මහතා ඇතුළු පිපල්ස් කාඩ්පත් මධ්‍යස්ථානයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
රටේ අධිකරණ පද්ධතිය තුළ පහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් පහසුකම් හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම ආයතන දෙක අතර පවතින දීර්ඝකාලීන සහයෝගීතාව මෙම ද්වී පාර්ශ්විය ගිවිසුමෙන් තවදුරටත් තහවුරු වේ.
මේ තුළින් අධිකරණය වෙත සිදුකරන ගෙවීම් අන්තර්ජාල මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ කිරීමට අවස්ථාව සැලසෙන අතර, ඒ හේතුවෙන් අධිකරණ ගෙවීම් කවුළු වෙත හෝ බැංකු ශාඛා වෙත පැමිණීමේ අවශ්‍යතාව අවම වනු ඇත. මෙමගින් නීතිඥවරුන්ට සහ අධිකරණය හා සම්බන්ධ සේවා ලබාගන්නා අනෙකුත් මහජනතාවට වඩාත් පහසුවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ රජයේ පුළුල් ඩිජිටල් පරිවර්තන සැලැස්ම සහ ‘ඊ-අධිකරණ‘ (E-Courts) ව්‍යාපෘතියට සමගාමි වේ. තාක්ෂණය මත පදනම් වූ විසඳුම්වලින් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය නව්‍යකරණය කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ අධිකරණ කටයුතු වෙත ප්‍රවේශ වීම පහසු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය මෙසේ පැවසුවාය. “අධිකරණ පද්ධතිය තුළ යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව, ප්‍රවේශය සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා වන අපගේ ප්‍රයත්නයන්හිදී අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ඉතා වැදගත් සාධකයක් වෙනවා. අධිකරණයට අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා අන්තර්ජාල ගෙවීම් ප්‍රවේශයක් හඳුන්වා දීම, වඩාත් පහසු සහ තාක්ෂණයෙන් අනූන අධිකරණමය පරිසරයක් නිර්මාණය කිරීමේ තීරණාත්මක පියවරක්. මෙම වැඩපිළිවෙළ මගින් සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම හා බැඳුණු පරිපාලනමය අසීරුතා අවම කෙරෙන අතර, නඩු පාර්ශවකරුවන් සහ නීති වෘත්තිකයන් ඇතුළු මහජනතාවට වඩාත් පහසුවෙන් ගෙවීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසෙනු ඇත. අධිකරණ ක්ෂේත්රය ඩිජිටල්කරණ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් මහජන බැංකුව ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ දායකත්වය අපි අගය කර සිටිනවා”.
මහජන බැංකුවේ සභාපති චන්දන ගුනියන්ගොඩ මහතා මෙසේ පැවසීය. ‘ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඩිජිටල් පරිවර්තනයට සහාය වීම සඳහා බැංකු පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳ මහජන බැංකුව සතුටට පත්වෙනවා. අධිකරණ අමාත්‍යාංශය සමග අප පවත්වාගෙන යන මෙම සහයෝගීතාවෙන් සාධනිය ප්‍රතිඵල ලැබී තිබෙන අතර, අන්තර්ජාල ගෙවීම් ප්‍රවේශය හරහා ඩිජිටල් ගෙවීම් බාරගැනීමේ ක්‍රියාවලිය පුළුල් කිරීමේ තවත් එක් සුවිශේෂ පියවරක් ලෙස මෙම ගිවිසුම හඳුන්වා දිය හැකියි.
අපගේ දැක්ම වන්නේ, සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස්, මහජනතාවට පහසු, ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ගෙවීම් පහසුකම් සපයන පුළුල් ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ පාලනය, අවදානම් කළමනාකරණය සහ අනුකූලතා රාමුව තුළ ඉහළම ප්‍රමිතීන්ට අනුකූලවයි. එමෙන්ම, අමාත්‍යාංශයේ අවශ්‍යතා සහ රටේ පුළුල් ඩිජිටල්කරණ අරමුණුවලට සමගාමීව ජංගම දුරකථන බැංකුකරණය (Mobile banking) අන්තර්ජාල බැංකුකරණය (Internet banking) QR කේතය මත පදනම් වූ ගෙවීම් සහ වෙනත් ඩිජිටල් ගෙවීම් මාර්ගයන් හරහා මෙම පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය අවස්ථා පිළිබඳවද අප සොයාබලනවා. ”
යෝජිත අන්තර්ජාල ගෙවීම් ප්‍රවේශය අමාත්‍යාංශයේ ඩිජිටල් ක්‍රියාවලීන් සමඟ තවදුරටත් ඒකාබද්ධ වීම සඳහා අවශ්‍ය පදනමක් සපයනු ඇත. මෙයට විද්‍යුත් අධිකරණ සේවා (E-Courts Services) සහ නඩු කටයුතු හා සම්බන්ධ විද්‍යුත් ක්‍රියාවලි ද ඇතුළත් වේ. අනාගත අවශ්‍යතා සහ තාක්ෂණික ඒකාබද්ධතාව මත පදනම්ව විවිධ ගෙවීම් මාර්ග (Payment Channels) සඳහා පහසුකම් සැලසීම, ස්වයංක්‍රීය ගෙවීම් තහවුරු කිරීම් සහ විද්‍යුත් රිසිට්පත් නිකුත් කිරීම මෙන්ම ගනුදෙනු නිරීක්ෂණය සහ ගිණුම් සැසඳීම (Reconciliation) සඳහා වැඩිදියුණු කළ පහසුකම් ලබා දීම වැනි අවස්ථා ද මෙහිදී සලකා බැලිය හැකිය.
මෙම හවුල්කාරිත්වයෙන් ජාතික ඩිජිටල්කරණ වැඩසටහන් සඳහා සහාය වීමටත්, රාජ්‍ය ආයතන, ව්‍යාපාර සහ මහජනතාව වෙත නව්‍ය බැංකු හා ගෙවීම් විසඳුම් ලබා දීමටත් මහජන බැංකුව සතු කැපවීම තවදුරටත් තහවුරු වේ. එමෙන්ම මෙම සහයෝගිතාව හරහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ අධිකරණ පද්ධතියක් ගොඩනැගීමට මහජන බැංකුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
මහජන බැංකුව - අධිකරණ අමාත්‍යාංශය එක්ව අධිකරණ ගෙවීම් සඳහා ඩිජිටල් ගෙවීම් යාන්ත්‍රණයක් හඳුන්වා දෙයි