IMG-LOGO

2026 ජුනි මස 19 වන සිකුරාදා


මහජන බැංකුව ISO 22301:2019 සහතිකය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකීය රාජ්‍ය බැංකුව

මහජන බැංකුවට  ISO 22301: 2019 සහතිකය පිරිනමන අවස්ථාවට සහභාගීවු මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (බැංකු සහාය සේවා) ලාල් පීරිස්, නියෝජ්‍ය කළමනාකාරිනි - ඉෂානි වීරසිංහ, සහකාර සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර පුනර්ජීවන ඒකකය) මාධව කනක්කහේවගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා)  ඉඳුමිණි රත්නායක, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, Bureau Veritas දේශීය සාමාන්‍යාධිකාරී  ශාන් නානායක්කාර, අලෙවිකරණ සහ විකුණුම් කළමනාකරු  සුභාෂ් ද සිල්වා, Ernst & Young - ශ්‍රී ලංකාව - සහකාර අධ්‍යක්ෂ - තාක්ෂණ උපදේශන ගයාන් විජේසුන්දර, සහකාර කළමනාකරු - තාක්ෂණ උපදේශන - කාවන්තිස්ස රණරාජා, -Millennium IT  අධ්‍යක්ෂ - (ව්‍යාපාර සංවර්ධන)  රුහුණු දිසානායක යන මහත්ම මහත්මින්


මහජන බැංකුව, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System)  (BCMS) සඳහා ජාත්‍යන්තරව පිළිගත් ISO 22301(2019 සහතිකය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකිය රාජ්‍ය බැංකුව බවට පත්වෙමින් සිය ගමන් මගෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. 
ලොව ප්‍රමුඛතම සහතිකකරණ සමාගමක් වන බියුරෝ වෙරිටාස්  (Bureau Veritas)  ආයතනය විසින් මහජන බැංකුවේ ව්‍යාපාර අඛණ්ඩතා රාමුව සහ මෙහෙයුම් ක්‍රියාවලියේදී ඇතිවන බාධාකාරි තත්වයට මුහුණදීමේ හැකියාව පිළිබඳ කරන ලද පූර්ණ අධීක්ෂණයකින් සහ තක්සේරුවකින් අනතුරුව මෙම සහතිකය පිරිනමන ලදී.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ‘මෙම ISO 22301:2019 සහතිකය හිමිකර ගැනීම මහජන බැංකුවේ ගමන් මගෙහි ඉතා සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර, මෙහෙයුම් ක්‍රියාවලියේදී ඔරොත්තු දීමේ හැකියාව, සේවා අඛණ්ඩතාව සහ ගනුදෙනුකාර විශ්වාසය වෙනුවෙන් අපගේ ඇති නොසැලෙන කැපවීම ඉන් පිළිබිඹු වනවා. මෙම සහතිකය හිමිකර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය බැංකුව ලෙස, අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට ඉහළම විශ්වසනීයත්වයක් සහ විශිෂ්ටත්වයක් සහිත බැංකු සේවා අඛණ්ඩව සැපයීම සඳහා අපගේ පද්ධති සහ ක්‍රියාවලි තවදුරටත් ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා’
ISO 22301 යනු ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය සඳහා වන ගෝලීය නියාමන ප්‍රමිතියයි. එමගින් ආයතනයකට අනපේක්ෂිත බාධාවලට මුහුණ දීම සඳහා නිසි ලෙස සූදානම් වීමට, ප්‍රතිචාර දැක්වීමට සහ යථා තත්වයට පත්වීමට එම ආයතනවලට ඇති හැකියාව සහ තිරණාත්මක සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ  හැකියාව සහතික කරයි.  අහිතකර අවස්ථාවලදී පවා අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට මහජන බැංකුවට ඇති හැකියාව මෙම සහතිකයෙන් තවදුරටත් තහවුරු වේ. 
Millennium IT E.S.P (Pvt) Ltd හි වෘත්තීය මගපෙන්වීම යටතේ සිදු කරන ලද මෙම ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (BCMS) ස්ථාපිත කිරීම සඳහා වන උපදේශන සහාය Ernst & Young වරලත් ගණකාධිකරණ ආයතනය විසින් ලබා දෙන ලද අතර, මෙය මහජන බැංකුවේ බැංකු සහාය සේවා දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධිකරණය කරන ලදි. මෙම ජයග්‍රහණයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිගත භාවිතයන්ට අනුකූලව පාලන ක්‍රමවේද, අවදානම් කළමනාකරණය, අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාම සහ සේවා විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3.7 කට අධික වත්කම්වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 745ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 300 කට අධික සංඛ්‍යාවක් සමගින් මිලියන 15.3කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාව සපයයි. මෙම ISO 22301:2019  සහතිකය හිමිවිමත් සමග මෙහෙයුම්කරණයේ විශිෂ්ටත්වය, ඔරොත්තු දීමේ හැකියාව, තිරසාර වර්ධනය සහ අඛණ්ඩ ගනුදෙනුකාර සේවාව සඳහා වන බැංකුවේ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.



අදහස් (0)

මහජන බැංකුව ISO 22301:2019 සහතිකය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකීය රාජ්‍ය බැංකුව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site