මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු |
ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා |
මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ නව මං සලකුණක් සටහන් කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වැනි දිනට හැට හතර වසරක් සපිරුණි. මෙරට සාමාන්‍ය පොදු ජනතාවට බැංකුකරණය හුරු කළ මහජන බැංකුව, මේ වන විට ඩිජිටල් මූල්‍ය සේවා මෙරට ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරමින් ඩිජිටල්කරණයේ ප්රතිලාභ මුළු ජාතියටම ගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක නිරතව සිටීම සුවිශේෂ කරුණකි.
ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරන පනත යටතේ මහජන බැංකුව පිහිටුවන ලදී. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර සමූපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ටී.බී. ඉලංගරත්න ශ්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමූපකාර ක්ෂේත්රයේ විසල් මෙහෙයක් සිදු කරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.
ඉංග්‍රීසි උගත් ඇති හැකි පැළැන්තියට පමණක් සීමා වී තිබුණු බැංකු ක්රමයේ සීමා වළලු දෙදරා යෑමට මුල පිරුණේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප්‍රතිඑලයක් ලෙස සිංහල හා දෙමළ භාෂාවෙන් වැඩ කිරීම ආරම්භ කළ ප්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකි විය.
සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමගම රන් භාණ්ඩ උකස් සේවා කටයුතුවලට ද මහජන බැංකුව 1961 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත්ව තිබූ රන් භාණ්ඩ උකස් වෙළෙඳපොළ විධිමත් විය.
මේ වන විට දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා හා සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව 751 ක් වන අතර, 7600 කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 300 කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක (SBU) වලින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 15.2කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්රවල නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැලපෙන පරිදි සන්නාම නාමගත කරන ගිණුම් හඳුන්වා දීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක්‍රම දියත් කරමින් තම ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබා දීමට ද මහජන බැංකුව ක්‍රියා කරයි.
වගකිව යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබා දීමෙන්ම නොනැවතී මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවර ද සුළු පටු නොවේ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට තෙවසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගී, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍ර සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වය ද සුවිශාලය.
ලෝකයේ පුරා විසිරී ඇති බැංකු 900 කට අධික සංඛ්‍යාවක් සමග සාර්ථකව ගනුදෙනු කරන මහජන බැංකුව, පෞද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම්වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන හා අපනයන කටයුතු සඳහා විශාල දායකත්වයක් පිරිනමයි.
එමෙන්ම මහජන බැංකුව, නව ලොවට ගැලපෙන පරිදි සිය ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් 2015 වසරේදී ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී.
මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියෙන් People’s Wiz ඩිජිටල් ගිණුම් විවෘත කිරීමේ පහසුකම, People’s Wave ජංගම දුරකතන යෙදවුම, People’s Wiz Credit ඩිජිටල් ණය උත්පාදන පද්ධතිය, People’s Wyn ආයතනික ජංගම දුරකතන යෙදවුම, People’s Web අන්තර්ජාල බැංකු පහසුකම, People’s Pay Digital Wallet App යෙදවුම හා People’s Eze ගිණුම් විවෘත කිරීමේ පහසුකම - Virtual Account Opening Service හඳුන්වා දෙන ලදී. මේ වන විට මහජන බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 3.6 කට අධික වන අතර, මේ වන විට මහජන බැංකුවේ ගනුදෙනු සියයට 80 කට අධික ප්‍රමාණයක් සිදුවන්නේ ඩිජිටල් නාලිකා ඔස්සේය.
පැය 24 පුරාම සහය සපයන කෘත්‍රිම බුද්ධිය මගින් උපයෝගී කරගත් ‘Peoplezs Zen’ චැට්බෝට් පහසුකම ද මහජන බැංකුව පිරිනමන අතර, සමාජ මාධ්‍ය හරහා අධ්‍යාපනික දැනුම බෙදා හදා ගනිමින් ගනුදෙනුකරුවන් සමග නිරතුරුව සම්බන්ධ වේ.
මහජන බැංකුව 64 වැනි සංවත්සරය සමරයි