
භානුක අමරසිංහ
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මුල් මාස 09 දී මෙරට තේ අපනයනය තේ කිලෝ මිලියන 198.33 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ අපනයනය කළ තේ කිලෝ මිලියන 182.36 හා සැසඳීමේදී කිලෝ මිලියන 15.97 ක වැඩිවීමක් බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
මෙම තේ නැව්ගත කිරීමේ අවස්ථාවේදී (FOB) තේ කිලෝග්‍රෑමයක් සඳහා වන වටිනාකමේ සාමාන්‍ය ජනවාරි සිට සැප්තැම්බර් දක්වා තේ කිලෝග්‍රෑමයක් වෙනුවෙන් රුපියල් 1,754.46ක් (ඇ.ඩො. 5.87ක්) ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී පැවැති රුපියල් 1,773.06 (ඇ.ඩො. 5.81ක්) හා සැසඳීමේදී රුපියල් 18.60 ක (ඇ.ඩො. 0.06ක) අඩුවීමකි.
ඒ අනුව 2025 වසරේ මෙම කාලසීමාවේදී තේ අපනයනය හරහා රැස් කරගත් ආදායම රුපියල් බිලියන 347.96ක් (ඇ.ඩො. බිලියන 1.16ක්) ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් රුපියල් බිලියන 323.33 (ඇ.ඩො. බිලියන 1.06) හා සැසඳීමේදී රුපියල් බිලියන 24.63 ක (ඇ.ඩො. මිලියන 104.52ක) ඉහළ යාමක් බව සිලෝට් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙහිදී ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වැඩිම තේ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉරාකය වෙතයි. එය කිලෝ මිලියන 30.07 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී ඉරාකය වෙත අපනයනය කළ තේ කිලෝ මිලියන 24.16 හා සැසඳීමේදී කිලෝ මිලියන 5.91ක ඉහළ යාමකි.
එසේම වසරේ මේ දක්වා කාලය තුළ රුසියාව වෙත තේ කිලෝ මිලියන 16.70ක් අපනයනය කර තිබේ. එහෙත් එය පසුගිය වසරේ සිදුකළ කිලෝ මිලියන 18.45 හා සැසඳීමේදී කිලෝ මිලියන 1.75 ක අඩුවීමකි. තුර්කිය වෙතත් තේ කිලෝ මිලියන 15.26ක් අපනයනය කර ඇති අතර, එය පෙර වසරේ එම කාලයේ සිදුකළ කිලෝ මිලියන 13.41 හා සැසඳීමේදී කිලෝ මිලියන 1.85ක වැඩිවීමකි.
මීට අමතරව එක්සත් අරාබි එමීරය වෙත පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ සිදු කළ කිලෝ මිලියන 17.50ක් වූ තේ අපනයනය මේ වසරේ කිලෝ මිලියන 14.28ක් දක්වා කිලෝ මිලියන 3.22 කින් පහත වැටී තිබේ. ඉරානය වෙත සිදුකළ තේ අපනයනයද පසුගිය වසරේ වාර්තා කළ කිලෝ මිලියන 8.16 සිට මේ වසරේදී මිලියන 9.05 ක් දක්වා කිලෝ මිලියන 0.89කින් ඉහළ ගොස් ඇතැයිද සිලෝට් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි.
මුල් මාස නවයේ තේ අපනයනය කිලෝ මි. 198.33ක්