IMG-LOGO

2026 නොවැම්බර් මස 27 වන සිකුරාදා


මෙරට ප්‍රථම බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

විවිධ බැටරි සහ බැටරි පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව ඇගයීම සිදු කරයි 


වැය කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 161.5 ක්


මෙරට තුළ ස්ථාපිත කළ ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවය ලෙස ‘විද්‍යුත් සංචලන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය (Centre for E-Mobility and Battery Technology) පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්‌යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) ස්ථාපිත කළ මෙම විශේෂිත රසායනාගාර පහසුකම සඳහා වැය කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 161.5 කි.

ඒ සඳහා රජයේ “ජාතික තත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ (NQI)” ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 118 ක් සහ NERDC ආයතනයේ අරමුදල්වලින් රුපියල් මිලියන 43.5 ක් ආයෝජනය සිදු කර තිබේ. 

සාම්ප්‍රදායික බැටරි ඇගයීම්වලින් ඔබ්බට ගොස් නවීන බැටරි තාක්ෂණය දක්වා රටේ පරීක්ෂණ හැකියාව පුළුල් කිරීමේ අරමුණින් නව විදුලි සංචලන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය සංවර්ධනය කර තිබේ.

එය ශ්‍රී ලංකාවේ තත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ සහ විදුලි ප්‍රවාහනය හා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය කරා යන ගමනට සහාය වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි බව අමාත්‍යාංශය පවසයි. 

එසේම රට තුළම නිෂ්පාදන සංවර්ධනය, දේශීය අගය එකතු කිරීම් සහ විශේෂිත පරීක්ෂණ සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම මගින් දේශීය නිෂ්පාදකයන්, ආනයනකරුවන්, පර්‌යේෂකයන් සහ තාක්ෂණ සංවර්ධකයන්ට ප්‍රතිලාභ සැලසීමේ හැකියාව මෙම පහසුකම සතුව ඇත. 

මෙම නව මධ්‍යස්ථානය මගින් විවිධ වර්ගයේ බැටරි සහ බැටරි පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව ඇගයීම සඳහා නවීන පරීක්ෂණ පහසුකම් සපයා තිබේ.

එසේම විවිධ පාරිසරික තත්ව යටතේ බැටරිවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සහ විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ ආශ්‍රිත පරීක්ෂණ කිරීම ඇතුළු පහසුකම් රැසක් මෙහි ස්ථාපිත කර තිබේ. 

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, නර්ඩ් ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.) මනෝජ් කරුණාරත්න යන මහත්වරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන්, දේශීය හා විදේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිට ඇත.



අදහස් (0)

මෙරට ප්‍රථම බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site