විමුක්ති එස්. රුද්‍රිගු
මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා පමණක් සපුරා ගැනීමට පසුගිය අප්‍රේල් මාසයේදී අවම වශයෙන් රුපියල් 65,368 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත්, එය මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම ජීවන වියදම බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 70,500 ක මුදලක් අවශ්‍ය වේ.
මෙරට ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර 2019 වසරේදී සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ අවම මුදල රුපියල් 27,864 ක් වූ අතර එය පසුගිය අප්‍රේල් මාසය වනවිට ජීවන වියදම දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 16342 ක් වන අතර ආර්ථික අර්බුදයට පෙර මෙරට පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍යව තිබුණේ රුපියල් 6966 ක් පමණි.
දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල මෙම වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියලුම දිස්ත්‍රික්කවල ජීවන වියදම අප්‍රේල් මාසයේදී ඉහළ ගොස් ඇති අතර එය මෙම වසරේ මසක් තුළ වාර්තා වූ වැඩිම ජීවන වියදම ද වේ. පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට ජීවන වියදම වැඩිම දිස්ත්‍රික්කය ලෙස කොළඹ වාර්තා වන අතර එහිදී පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම රුපියල් 17,625 ක් අවශ්‍ය වී ඇත.
එහිදී ජීවන වියදම අඩුම දිස්ත්‍රික්කය වන්නේ මොනරාගල දිස්ත්‍රික්කය වන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 15,626 ක් අවශ්‍ය විය. දෙවැනි ස්ථානයට පසුගිය අප්‍රේල් මාසයේදී ඉහළ ජීවන වියදම වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අප්‍රේල් මාසයේදී අවශ්‍ය වී ඇති අවම මුදල රුපියල් 15,626 කි.
ලෝක බැංකුව මීට පෙර නිකුත් කළ වර්තාවක සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබුණත් පවුල් සංස්ථාවක මාසික ආදායම, රැකියා අවස්ථා සහ මූල්‍ය නොවන සුබසාධන කටයුතු තවමත් තිබෙන්නේ ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේ තිබූ මට්ටමට වඩා පහළ මට්ටමක බවත්, ඒ හේතුවෙන් මෙරට දුගීභාවය සහ ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බවත්ය.
පසුගිය වසරේ මෙරට දුගීභාවය සියයට 24.5 ක් බවත්, ආර්ථිකය අර්බුදය ආරම්භ වීමට පෙර තිබූ සියයට 11.3 ක ප්‍රතිශතය සමග සංසන්දනය කිරීමේදී එය දෙගුණයක ඉහළ යාමක් බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. සියයට 24.5 ප්‍රතිශතය දිනකට උපයන්නේ ඇමෙරිකානු ඩොලර් 3.65 කට වඩා අඩු මුදලක් බව ද ලෝක බැංකුව පැවැසුවේය.
ඒ හේතුවෙන් මෙරට දුගීභාවය මැදි කාලීනව සියයට 20 ක මට්ටමේ පවතිනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කළේය. ආර්ථික අර්බුදයත් සමග 2022 වසරේදී ඉහළ උද්ධමනය, ආහාර හා ඉන්ධන හිඟය, රැකියා අහිමිවීම් සහ අඩු විදෙස් ප්‍රේෂණ හේතුවෙන් මෙරට පවුල් පීඩා විඳි බව ද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
එලෙස පීඩාවට පත් මෙරට දුප්පත් පවුල් රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා පැනවූ බදු හේතුවෙන් පීඩා විඳ ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් විය. එම පීඩාව යම්තාක් දුරකට අඩු කිරීමට මෙරට සමාජ ආරක්ෂණ පද්ධතියට හැකියාව ලැබී තිබුණු බව ද එම වාර්තාවේ දැක්විණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ජනගහණයෙන් තුනෙන් එකක් දුගීභාවයෙන් පීඩා විඳින බව ද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
දුප්පත් ජනතාවට බලපාන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, බලාපොරොත්තු වූ මට්ටමට මෙරට ආර්ථිකය වර්ධනය නොවීම, ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යාම සහ දේශගුණික විපර්යාස වැනි බාහිර සාධක හේතුවෙන් මෙරට දුගීභාවය තවත් ඉහළ යා හැකි බව ලෝක බැංකුව පැවැසුවේය.
ජනතාව අතර වත්කම් බෙදී යන ආකාරය සහ ආදායම් අසමානතා සොයා බලන ගිනි ශ්‍රේණිගත කිරීම 2019 වසරේ මෙරට සියයට 37.7 ක් වූ බවත්, එය පසුගිය වසරේදී සියයට 38.3 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. වැඩිවන අසමානතා පහළ දැමීමටත්, පවුල්වල ආදායම නැවත තිබූ තත්වයට පත් කිරීමටත් ස්ථාවර මෙන්ම දිගු කාලීන ආර්ථික වර්ධනයක් අවශ්‍ය බව ලෝක බැංකුව පැවැසුවේය.
මෙම වසරේ මෙතෙක් ඉහළම ජීවන වියදම අප්‍රේල් මාසයේ