IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


මුදල් මණ්ඩලයේ තීරණය වෙළෙඳපොළ හිතකර තැනකට හරවයි

කොටස් වෙළඳපොළ තව දුරටත් වර්ධනයවීමක් ඊයේ (මැයි 22) ගනුදෙනු අවසානයේ දී දැක්විණ. අඛණ්ඩ ස්ථාවර වර්ධනයක් සහිතව පැවැති අතර දෙස් විදෙස් ආයෝජකයන් මිල දී ගැනීමට යුහුසුලුවනු දැකිය හැකි විය.

ඉදිරි දිනවල ද තවත් වර්ධනයකට ඉඩ ඇති අතර කෙසේ වෙතත් ලාභ ඉපැයීමට උත්සාහ කිරීමේ දී දර්ශක සුළුවශයෙන් පහත වැටෙන අවදානමක් ඇති බව ආයෝජන උපදේශකයෝ අනතුරු අඟවති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.75 දක්වා 0.25 කින් අඩු කරන ලද අතර එය වෙළෙඳපොළ පැවැත්මට හිතකර බව ගනුදෙනුකරුවන් තීරණය කර ඇති බව දැක්වේ. මේ අතර සෙන්ට්‍රල් ඉන්ඩ්‍රස්ට්‍රි කොටසක් සඳහා රු. 6.00 ක් සහ සී.ටී. හෝල්ඩිං රු.10.00ක් බැගින් ලාභාශ ප්‍රකාශ වී ඇත.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,473.37 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 117.46 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,842.15 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 26.15 ක ඉහළ යෑමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 24,843 ක් වාර්තා වූ අතර සමාගම් 156 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 86 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 4,542.78 ක් විය. කොටස් මිලියන 277.3 ක් හුවමාරු වූ බව දැක්වේ. 

රීල් ප්‍රොපටි රු. මිලියන 259 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 259 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රු. මිලියන 195 ක්, වැලිබල් වන් රු. මිලියන 157 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 152 ක්, ඩයලොග් රු. මිලියන 132 ක්, ලංකා ක්‍රෙඩිට් රු. මිලියන 98 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 97 ක් කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 89 ක්, ස්වස්ථික රු. මිලියන 85 ක්, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 84 ක්, එල්. බී ෆිනෑන්ස් රු. මිලියන 76 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 71 ක්, සහ ලංකා මිල්ක් ෆුඞ් රු. මිලියන 68 ක් වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක

 



අදහස් (0)

මුදල් මණ්ඩලයේ තීරණය වෙළෙඳපොළ හිතකර තැනකට හරවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site