IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


මාදු ගඟෙන් බලපිටියට ඩොලර් සොයන කැප්ටන් බෝට් හවුස්

 


එදා තනි මෝටර් බෝට්ටුවෙන් මාදු ගඟ සංචාරක ව්‍යාපාරය ආරම්භ කළ චන්දන මහතා 


අද මෝටර් බෝට්ටු විසි තිස් ගණනක අයිතිකරුවෙක්එහි සේවය කරන පිරිස සිය ගණනක්


කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත 


මාදු ගඟ සුන්දරය. මේ සුන්දරවූ මාදු ගඟ ගැන අද නොදන්නා කෙනකු නැති තරම්ය. අපේ රටේ පමණක් නොව දේශදේශාන්තර පවා මාදු ගඟ ගැන දන්නේය. ඒ ලෝකයේ සංචාරකයන්ට සංචාරයක් සඳහාවූ නවමු ස්වාභාවික ආකෘතියක් මාදු ගඟ වීමය. ඒ නිසාම අද මාදු ගඟ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවත‌ී. කෙටියෙන් කීවොත් මාදු ගඟ කාර්යබහුල පරිසර පද්ධතියක් වී හමාරය.

මීට දශක කිහිපයකට පෙර මාදු ගඟ මෙතරම් කාර්ය බහුලවී නොතිබුණේය. මෙරටට ඩොලර් නොඇදී තිබූ මාදු ගඟ හිටි හැටියේම එම තත්වයෙන් මිදී මෙරටට ඩොලර් උල්පතක්වූ කතාව පසුපස කාටවත් අමතකව ගිය තවත් කතාවක් තිබේ.

මේ කතාවේ නායකයා බලපිටියේ ප්‍රදීප් චන්දන ද සිල්වාය. නැතහොත් බලපිටිය කැප්ටන් බෝට් හවුස් අධිපති චන්දනය. චන්දනලා නොවන්නට අදටත් මාදු ගඟ මෙරටට ඩොලර් උපයන සම්පතක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණේය. අද බලපිටියට ඩොලර් එනවා පමණක් නොව සංචාරක ව්‍යාපාරයෙන් මාදු ගඟ ඩොලර් උල්පතක් කර සිය ජීවිතය ද එමගින් ගොඩදා ගත් කැප්ටන් චන්දනගේ කතාවයි මේ.

මම වැඩ කළේ නැවක. විවාහයෙන් පස්සේ ඒ අවිවේක ජීවිතයට ගෙදර අය කැමැතිම වුණේ නැහැ. මම එතකොට කල්පනා කළා ගෙදර ඉදගෙනම කරන්න දෙයක් තිබුණොත් හොඳයි කියලා. අපිට තිබුණා බලපිටිය මහ පාලම ආසන්න ඉඩම් කෑල්ලක්. ඒක මාදු ගඟ අද්දරයි තිබුණේ. මෙතන තොටුපොළක් හදලා සංචාරකයන්ට මාදු ගඟ නැරඹීමට තැනක් හැදුවොත් හොඳයි කියලා සිතුණා. බොඩි මෝටර් බෝට්ටුවකුත් අරගෙන වැඩේට සූදානම් වුණා. වැඩේ හරි ගියේ නැහැ. කවුරුත්ම ආවේ නැහැ. මම සාමාන්‍යයෙන් දෙයක් අත හරින කෙනෙක් නෙමෙයි. මේ කුඩා ව්‍යාපාරය දියුණු කරන්නේ කොහොමද කියලා හිතුවා. ඒ අනුව මම අලු‍ත් වැඩපිළිවෙළවල් කිහිපයක්ම ආරම්භ කළා යයි මේ කතාව ආරම්භ කරමින් ප්‍රදීප් චන්දන ද සිල්වා මහතා කීවේය.

චන්දන තමන් ගත්ත මෝටර් බෝට්ටුවේ නැගී මාදු ගගේ සංචාරයක් සඳහා පිටව ගියේය. ඒ තවත් හිතවතුන් දෙතුන් දෙනෙක් සමගය. ඔහු මාදු ගඟට ගියේ දෙඅත වන වනානම් නොවේ. ඔහු කැමරාවක් ගෙන ගියේය. තමන් දන්නා මාදු ගඟේ සොදුරු ස්ථාන චන්දන සිය කැමරාවට ගත්තේය. එයින් නොනැවතුණු හේ අම්බලන්ගොඩට ගොස් තමන් මාදු ගඟේ සුන්දර ස්ථානවල ගත් ඡායාරූපවලින් ඇල්බමයක් හැදුවේය.

මම මාදු ගඟේ සුන්දර ස්ථානවලින් ගත් ඡායාරූප ඇල්බමය අරගෙන දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන රටේ එක එක තැන්වලට ගියා. ගියේ පාර බස් එකේ. මට මතකයි මම මීගමුවට ගියා. ගිහිල්ලා එහේ හිටිය දෙස් විදෙස් සංචාරකයන්ට මගේ ඇල්බමය පෙන්නලා කිව්වා මාදු ගඟ සංචාරයට එන්න කියලා. ඔය විදීහට රට වටේම ගියා. මගේ ඒ ව්‍යායාමය ටිකක් සාර්ථක වුණා. කට්ටිය මාදු ගඟේ යන්න කැමැතිවුණා. ඒ කාලේ දැන් වගේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. කට්ටිය ගඟේ යන්න එනවනම් මට දින කිහිපයකට පෙර ටෙලිග්‍රෑම් එකක් එවනවා මෙදාට එන්න කියලා. මම ඉතිං බෝට්ටුව ලැහැස්ති කරලා තියාගෙන ඉන්නවා. එහෙම එනවයි කියලා නාපු වාර අනන්තයි. මම ඒත් මේක අතහැරියේම නැහැ.

මාදු ගඟේ යෑමට එන හැම කෙනෙක් එක්කම මම සුහදව කතා කළා. මට හැකි අයුරින් ඔවුනට සංග්‍රහ කළා. ගඟ ගැන හොඳ අවබෝධයක් දුන්නා. මගේ ඒ සුහදශීලීත්වයට හා ගඟ ගැන පැහැදිලි කිරීමට බොහෝ අය පැහැදුණා. එක පාරක් ගිය අයෙක් ආවේ තවත් අලු‍ත් කට්ටියක් එක්ක. මුලින් මුලින් ආවේ අපේ රටේ අය විතරයි. ටික දවසක් යද්දී විදෙස් සංචාරකයනුත් එක්කෙනා දෙන්නා එන්න පටන් ගත්තා. අද කාලේ වගේ ඒ කාලේ මුහුණු පොත වට්ස්ඇප් ගෲප් තිබුණේ නැහැනේ. සියල්ල සිදුවුණේ කට වචනයෙන්. එහි විශ්වාසය අංක එකට ගියා. අපි කවදාවත් ආපු සංචාරකයා කවුද කියන්න සොයන්න ගියේ නැහැ. ඒ අයට අවශ්‍ය පහසුකම් දුන්නා.

චන්දන මහතා සිය සංචාරක තොටුපොළ කැප්ටන් බෝට්ටු යන නමින් නම් කළේය. කැප්ටන් බෝට්ටු තොටුපොළ ටිකෙන් ටිකම ලංකාවේම ජනප්‍රිය වීමට පටන් ගත්තේය. මාදු ගඟේ යාමටනම් යායුත්තේ බලපිටිය කැප්ටන් බෝට්ටු සේවය සොයා ගෙන යයි මතය ජනගත වුණේය. ඒ සමගම දෙස් විදෙස් පිරිස් චන්දන මහතා සොයා බලපිටියට පැමිණියේය. එක පිරිසක් මාදු ගඟ එක සංචාරයක් නිමාකර එනතෙක් බලා සිටීමට එදා සංචාරකයන්ට සිදු විය. ඒ තනි මෝටර් බෝට්ටුවක් මේ කාර්යය සඳහා තිබීම නිසාය. ඒ සමගම චන්දන මහතාට මෝටර් බෝට්ටු දෙකකට යාමට සිදුවිය. එදා තනි මෝටර් බෝට්ටුවෙන් මාදු ගඟ සංචාරක ව්‍යාපාරය ආරම්භ කළ චන්දන මහතා අද මෝටර් බෝට්ටු විසි තිස් ගණනක අයිතිකරුවෙකි. එහි සේවය කරන පිරිස සිය ගණනකි.

එයින් නොනැවතුණු චන්දන මහතා සිය කැප්ටන් මෝටර් බෝට්ටු තොටුපොළ එය වෙත එන සිය දහස් ගණන් දෙස්විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කළේය. ඒ සඳහා මහල් කිහිපයක ගොඩනැගිල්ලක්ද ඉදි කළේය. සංචාරකයන්ට සහ ඔවුන්ගේ මගපෙන්වන්නන්ට නැවතී ගිමන් හරින ස්ථාන, මාදු ගඟේ රමනීය ස්ථානවල ඡායාරූප ඇතුළත් කෞතුකාගාරයක්, රට රටවල ධජ, රටරටවල භාවිත වන මුදල් වර්ග මේ කෞතුකාගාරයේ දක්නට ලැබේ. එදා කැප්ටන් බෝට්ටු තොටුපොළ අද දෙස්විදෙස් සංචාරකයන්ට දැනුම ලබාදෙන කැප්ටන් බෝට් හවුස් විශ්වවිද්‍යාලයක් බඳුය. මාදු ගඟේ සංචාරයට යන දෙස් විදෙස් සංචාරකයන්ට කැප්ටන් බෝට් හවුස් කෞතුකාගාරයෙන් ලබාගත හැකි දැනුම බොහෝය.

මේ දියුණුවත් සමගම චන්දන මහතා තවත් කාර්යයකට අත ගැසුවේය. ඒ තමාගේ කැප්ටන් බෝට් හවුස් ආයතන පරිශ්‍රයට ආසන්නයේම දෙස්විදෙස් සංචාරක නිවාඩු නිකේතනයක් ආරම්භ කිරීමය. කාමර පහසුකම්වලින් සපිරි මාදු ගඟ සමීපයේ ඉදිකර ඇති මේ නිවාඩු නිකේතනයේ ලැගුම් ගන්නා අයට මාදු ගඟේ සිරිඅසිරිය මෙන්ම ඒ ආසන්නයේ ඇති මහ සයුරේද සිරිඅසිරිය විඳ ගැනීමට ලැබීම මේ නිවාඩු නිකේතනයේ ඇති විශේෂත්වයකි.

චන්දන මහතාගේ දියුණුවෙන් දියුණුවට පත් කැප්ටන් බෝට් හවුස් ආයතනය අද ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ මාදු ගඟ සංචාරක මධ්‍යස්ථානයකි. චන්දන මහතාගේ මේ දියුණුව පිටුපස ඔහුගේ භාර්යාව වන ඩී. චම්පිකා ද සොයිසා මහත්මිය මෙන්ම දියණිය වන ඕෂිධි ද සිල්වා සහ පුතුණුවන් වන යෙහාන් ද සිල්වා යන අය යදමක් මෙන් සිටිති.



අදහස් (0)

මාදු ගඟෙන් බලපිටියට ඩොලර් සොයන කැප්ටන් බෝට් හවුස්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site