IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


මට්ටි අල්ලා ජීවිතය සොයන කන්දකුලිය වැසියෝ

 

  • වැඩි පිරිසකගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය මට්ටි ඇල්ලීම
  • ජීවත් වෙන්නේ තාවකාලිකව ඉදිකරගත් නිවාසවල
  • දිවි ගෙවන පරිසරයේ මූලික පහසුකම් කිසිවක් නෑ

සටහන ඡායාරූප ආණමඩුව - හිරාන් ප්‍රියංකර ජයසිංහ 


කල්පිටිය කන්දකුලිය ඉච්චන්කාඩුව කලපුවේ වැලි සමග ඇති මඩ අවුස්සමින් දෑත්වල නිය පතුරු ගැලවෙන තුරු මඩවලට යටින් සැඟවී සිටින මට්ටි සොයා සොච්චම් මුදලකට අලෙවි කරමින් ලබාගන්නා පිච්චිය දරු මල්ලන්ගේ කුස එක වේලක් හෝ පිරවීමට ගන්නා කාන්තාවන් පිරිසකගේ ජීවිතයෙන් කියා පාන්නේ ආර්ථිකයේ තවත් පැත්තක කතාවකි. 
මෙම කාන්තාවන්ගෙන් වැඩි පිරිසකගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ මෙම ක්‍රියාවලියයි.
කලපුවේ වැලි සමග ඇති මඩ දෑතේ ඇඟිලිවලින් අතගා ගොඩට ගන්නා මට්ටි එකතු කර ගිනියම් වූ ජලයේ දමා තම්බා ගන්නා මට්ටි කටු අතරින් ගෙන අලෙවි කරන්නට ගෙන යන්නේ එහි පව පිනහෝ තමන්ට ගැලපේදැයි නොසිතමිනි. තමන්ගේ පවුල්වල කඩා වැටුණු ආර්ථීකය ගොඩ දමන්නට වෙහෙසෙන්නේ මේ ආකාරයෙනි.
කන්දකුලිය ඉච්චන්කාඩුව කලපුවේ මෙලෙස දෛනිකව මට්ටි සොයා මඩ පීරන කාන්තාවන් 50 කට ආසන්න පිරිසක් වෙති.
මොවුන් සියලු‍ දෙනාම තම පවුල්වල යැපෙන්නන් වෙනුවෙන් අව් වැසි නොතකමින් මෙලෙස මහත් කැපවීමක් කරති.
කරන්න කිසිම දෙයක් නොමැතිකමත්, වෙනත් රැකියාවක් නොමැති නිසාත් මෙලෙස කලපුවට බැස මෙම කාන්තාවන්ට ජීවත්වීමේ අරගලය වෙනුවෙන් සටන් කිරීමට සිදුව ඇති බව ඔවුහු පවසති.

 

වසර ගණනාවක් කලපුවේ මට්ටි ඇල්ලීමේ නිරත වන ඉනෝකා සන්ධ්‍යා කුමාරි මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.
“මම දන්න කාලෙ ඉඳලා තමයි මේ මට්ටි අල්ලන්න කලපුවට එන්නේ. දරුවන්ගේ දරුවෝ හය දෙනෙක් බලන්නේ මම. මේකෙන් ලැබෙන මුදල මදි. දවසට එක වේලක් තමා අපි කන්නේ. මොනා කරන්නද?” 


මංගලිකා කුමුදුනි ප්‍රනාන්දු මහත්මිය මෙලෙස පැවසුවාය.
“අපිට කන්දකුලියෙ වෙන කරන්න රස්සාවක් නැහැ. ඒ නිසා තියෙන එකම දෙය මේ කලපුවේ බැහැලා මට්ටි අල්ලන එක. අපි හිතකින් කරන්නේ නැහැ. ඒ තරම් අසරණ පිරිසක් අපි. මොනවා කරන්නද? මේ තමයි ඉරණම කියලා හිතාගෙන කලපුවට බහිනවා.”


මේරි පිලමිනා 65 හැවිරිදි මවකි. ඇය මෙලෙස පැවසුවාය.
“මට කරන්න කිසිම දෙයක් නැහැ. වෙන රස්සාවක් කරන්නත් බැහැ. මාව බලාගන්න කිසිම කෙනකුත් නැහැ. හිටපු පුතාත් අවුරුදු තුනේදී අසනීප වෙලා නැතිවුණා. දන්න කාලයෙ ඉඳලා මාළු වාඩිවලයි මාදැල්වල මාළු එකතු කරලයි ජීවත් වුණේ. කලපුවේ මඩ අස්සේ අත දාගෙන මට්ටි හොයද්දී වීදුරු කටු වෙන දේවල්වලට කකුල අතපය කැපිලා පුදුම වේදනාවක් දෙන්නේ. මොනවා කරන්නද? අපි ගිය ආත්මවල පව් කරලා. ඒ මදිවට මේ ආත්මයෙදීත් පව් කරනවා. කවදාවත් හොඳ ආත්මයක ඉන්න බැරි වෙනවා.” 


එස්.ඒ. ගුණවතී ද අවුරුදු 60 කට ආසන්නය. ඇය මෙසේ පැවසුවාය.
“මම ඇදුම ලෙඩෙක්. කලපුවේ බැහැලා මේ විදිහට මට්ටි අල්ලපුහාම මට ඇදුම වැඩි වෙනවා. එකපාරක් හොඳටම අමාරු වෙලා යාන්තමට බේරුණා. ඒ වුණාට කවුද අපිට කන්න දෙන්නේ. මොනවා කරන්නද? අද බෙහෙත් ගන්න රුපියල් 500 ක් අතට නැහැ. මේ මට්ටි අල්ලලා ඒකෙන් ලැබෙන කීයක් හරි අරන් ගිහින් බෙහෙත් ටික ගන්නවා.” 
මේ කාන්තාවන් ජීවත් වන පරිසරය ද එහි නිවාස ද ඇත්තේ තාවකාලික ලෙස සැකසූ ඒවාය. ඔවුන්ට ස්ථිර නිවසක් ඉදිකර ගැනීම සිහිනයක් වෙයි. එම පරිසරය තුළ ඇති දුක්ඛිත තත්වය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන දෙන්නේ වෙනස්ම චිත්‍රයකි.
ඔවුන් දිවි ගෙවන පරිසරය තුළ මූලික පහසුකම් කිසිවක් නැත. අඩුම තරමින් සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් හෝ ඇත්තේ කිහිප දෙනකුට පමණි.
එම නිවෙස්වල සිටින දරුවන්ට පාසල් යාමට පොත් පත් හෝ පිරිසුදු ඇඳුමක් පවා නොමැත. රජයෙන් ලැබෙන නිල ඇඳුම් රෙද්ද පවා මසා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. ඒ එයටද තරම් පොඩි මුදලක් ඉතිරි කරගන්නට මේ මිනිසුන්ට හැකියාවක් නොමැති නිසාවෙනි.
මෙවැනි මිනිසුන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්නට හැකි පිරිස් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හෝ ජීවත් වෙන්නට මගක් සකසා දෙන්නේ නම් යහපත් වනු ඇත. මන්ද මේ පිරිසේ හෙට දවස යම් මට්ටමකට රැගෙන ඒමට ඒ තුළින් හැකි වන නිසාය.



අදහස් (0)

මට්ටි අල්ලා ජීවිතය සොයන කන්දකුලිය වැසියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site