අලෙවි කිරීමට තබා ඇති මාඑළියේ බෙර
මොරගොල්ලාගම සිසිර කැලේගම
නිර්මාණ හැකියාවෙන් ඔපවෙන බෙර කර්මාන්තයට අද වනවිට අත්ව ඇත්තේ ශෝචනීය ඉරණමකි. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරවලට ප්‍රසිද්ධියක් උසුලන මාඑළිය බෙර කර්මාන්තයේ නියැලී සිටින්නන් සොයා ගිය ගමනේදී කතාවට එක් වු “වික්‍රමසිංහ සංගීත භාණ්ඩ නිෂ්පාදන ආයතනයේ” හිමිකරු ලයනල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවන් කතාවකි.
“පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන බෙරය කියන්නේ විශ්ව කර්ම පුත්‍රයා විසින් නිමවු නිර්මාණයක්. මගුල් ගෙදර, මරණ ගෙදර, පින්කම් ගෙදරක, පෙරහරක ආදි සෑම උත්සවයකදීම මුල් තැන හිමිවන බෙර කර්මාන්තයට හෙණහුරා වැදුණේ කොරෝනා ව්‍යසනයෙන් පස්සේ තමයි.
එතෙක් අපේ ගමේ බෙර, දවුල්, තම්මැට්ටම්, උඩැක්කි, ඩොල්කි ආදි හැම දෙයක්ම නිර්මාණය කෙරුවා. වෙසක්, පොසොන්, ඇසළ කාලයට අපේ භාණ්ඩවලට හොඳ මිලක් තිබුණා.
එහෙත් අද වනවිට අත්ව ඇති ඉරණම ශෝචනීයයි. නවීන තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ සියලු පංච තූර්ය නාද රටා පරිගණකයෙන් ගන්න කොට අපේ නිර්මාණ වළ පල්ලටම යනවා.
ඒ වාගේම එදා සමාජයේ මුල් තැන දුන් බෙරකරුවාගේ සුවිශේෂි හැකියාව දෙසත්, බෙර අලෙවි කරන්නා දෙසත් අද සමාජයේ අවතක්සේරු කොට සලකනවා.”
කැඩුණු බෙරයක් අලුත්වැඩියා කරන හැකියාවන් ඇති දිරිය කතුන්
බෙර හදන්නේ කොහමදැයි ඇසු විට ඔහු ඒ ගැන කීවේ මෙවැන්නකි.
“මුලින්ම අරටුව තියෙන ගසක් හොයා ගන්න ඕනෑ. ඇහැළ,වායා, කොස් ,කොහොඹ,ගන්සුරිය වාගේ ගස් මිලදී ගන්නවා. ඇහැළ ගහක් රුපියල් දස දාහක් දීලාවත් ගන්න නෑ. ඒ තරමට බෙරවලට ඇහැළ ගස් වටිනවා.ඒවා අවැසි ප්‍රමාණයට කුට්ටි කරනවා. පස්සේ වේලෙන්න දාලා ලියවන මඩුවකට අරන් යන්න ඕනෑ. එතැනදි කඳ ඇතුළත හිස් කරලා බාහිරට රටා දාලා හැඩ ගන්වනවා. පස්සේ ඒවා තීන්ත ආලේප කරනවා.එදා තීන්ත ටින් එකක් රුපියල් 500 යි . එහෙත් දැන් 3500- 5000 අතරේ. බලන්න වෙනස වැඩක් කරලා ගොඩ එන්න පුළුවන්ද.
ඊට පස්සේ එළු හම්, ගෙරි හම් සොයා ගන්න ඕනෑ. එදා ගෙරි හමක් රුපියල් 500 - 1000 ත් අතරේ ගත්තාට අද රුපියල් 3500- 4000 ත් අතරේ මිල ගණන් ඉහළ ගිහිල්ලා.
මේ තත්වය හමුවේ අද බෙරයක්, දවුලක් රුපියල් 12,000 - 15,000 ත් අතර මුදලකට විකුණන්න වෙලා තියෙනවා. ඩොල්කියක් නම් 5000 - 10,000 ත් අතරේ දෙන්න පුළුවන්. මොනවා වුණත් අලෙවි කරන්න තිබෙන දේවල් මකුලු දැල් වහලා තියෙනවා පේනවා නේද. වෙළදාමක් නැති එක තමයි එතැනින් පේන්නේ. අපේ ගමේ කාන්තාවන්ට පවා බෙර නිපදවීමේ හැකියාවන් තියෙනවා.
ඒ මදිවට වනජීවිය, පොලිසියෙන් කඩා පනිනවා පර්මිට් බලන්න. නැති නීති රීති පර්මිට් දාගෙන කාලය මිඩංගු කරලා ගස් කපාගෙන ඇවිත් අව්වට වැස්සට තෙමෙන්න නොදී රැකගෙන බෙර කර්මාන්තය දියුණු කරනවා කියන එක බොරු. අපෙන් පස්සේ මාඑළියේ බෙර කර්මාන්තය දකින්න වෙන්නෙත් පොටෝවලින් විතරයි. රජය මේ දෙසට අවධානය යොමු නොකිරීම ගැන ඇත්තටම කනගාටු වෙනවා.“
ආර්.එම්.ලීලාවති කීවේ මෙවන් කතාවකි.
“මම විවාහකයි. දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ඔවුන් ඔක්කෝම කසාද බැඳලා. දරු මුණුපුරෝ 17 ක් ඉන්නවා. මම හදවත් රෝගියෙක්. හැම මාසේම ක්ලිනික් යනවා.
කුළියට අලුතින් බෙර නිපදවමින්
පරම්පරාවෙන් පරම්පරාවට උරුම බෙර ටිකක් කඩේ දාගෙන විකුණනවා. යළට තියා මහටවත් බෙරයක් විකිණෙන්නේ නෑ. එහෙත් නමට බෙර තියාගෙන කඩයක් කරනවා කියලා සමෘද්ධිය කැපුවා. අස්වැස්ම කැපුවා. නිලධාරින් දුක බලලා දෙන්න හැදුවත් ගමේ ගොඩ පෙරකදෝරුවෝ ඒවා දෙන්න දෙන්නේ නෑ. මට තියා මගේ දරුවන්ටවත් මොකවත්ම සාධාරණයක් නෑ. ඒ සියල්ලට හේතුව බෙරේ තමයි. ඉඳලා ඉඳලා කවුරු හරි බෙරෙයක් ගන්න ආවත් ඒක කේවල් කරලා තුට්ටු දෙකටම තමයි ඉල්ලන්නේ. ඒ ඉහළ පැළැන්තියේ අයට අපේ දුක තේරෙන්නේම නෑ. අවසානයේ ගහපු පදේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. අපිට සෙතකුත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ.“
බෙර නිපැයුම්වලට සහාය දෙන කේ. දිනපාල ද මෙසේ අදහස් දැක්වීය.
“මගේ උපන්ගම නුවර. මට බෙර හදන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මං නුවර ඉදන් මාඑළිය ගමට ඇවිත් හැඩ කරන ලද ඔප කළ කොටයක් බෙරයක් ලෙසට නිපදවන්නට රවීන්ද්‍ර අයියාට සහයෝගය දෙනවා. කුලී පදනමට තමයි වැඩ කරන්නේ. දිනකට වැඩ කළාම රුපියල් 2500 විතර ලැබෙනවා. ඇත්තටම කට්ට කාගෙන දවසේ කුලී වැඩ කරගෙන උපයන ආදායමට වඩා හෙවණේ වාඩිවෙලා තම හැකියාවෙන් නිපදවන වන බෙර කර්මාන්තය වළ පල්ලට යා නොදී රැක ගත යුතුයි. අද පාසලක තියා කිසිදු තැනක බෙරෙන් වැඩ ගන්නවා මිසක් ඒක රැක ගැනීමට අවධානයක් යොමු වෙන්නේ නෑ කියන්නේ ඇස්පනාපිටම බෙර කර්මාන්තයත් වළ පල්ලටම යනවා කියන එක නේද?
බෙර සැකසීමට ගෙනා දැව කොට
බෙරයට හඩ දෙන්නට ගෙනා ගෙරි හම්
මාඑළියේ බෙර කර්මාන්තය නැත්තටම නැතිවෙයිද