කොට්ටාව සමරවීර මෝටර්ස්හි අලෙවිකරු සුනිල් ශාන්ත
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ වල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව වාහන අමතර කොටස් අලෙවිසැලක් වූ සමරවීර මෝටර්ස් වෙතය. එහි අලෙවිකරුවකු වූ සුනිල් ශාන්ත මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ වාහන අමතර කොටස්. බිස්නස් එක පටන් අරන් දැනට අවුරුදු 8 ක් වගේ වෙනවා. සේවකයෝ කීපදෙනෙක් ඉන්නවා. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවානම් බිස්නස් අඩුයි. ගිය වුරුද්දට සාපේක්ෂව ගත්තාම ගිය අවුරුද්දේ බිස්නස් හොඳට තිබ්බා මේ අවුරුද්දට වඩා.
බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩුවීමට බලපාන හේතුව මේකයි කියලා හරියටම කියන්න බෑ. එක පාරම තමයි බිස්නස් අඩු වෙන්න පටන් ගත්තේ. බිස්නස් අඩු වෙන්න බලපාන හේතු කීපයක්ම තියනවා. එකක් තමයි මේ පවතින ආර්ථික තත්වය එක්ක මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. බොහෝ අයට ආර්ථික අපහසුතා. ඒ නිසා අත්‍යාවශ්‍යම දේවල්වලට ඇරෙන්න අනෙක් දේවල් සඳහා මුදල් වියදම් කරන්නේ හරිම පරිස්සමෙන්.
අනෙක් කාරණාව තමයි වාහන අමතර කොටස් මිල ගණන් ඉහළ යාම. මිල ඉහළ නිසා පාරිභෝගිකයෝ මිල අහලා යනවා විතරයි ගන්නේ නෑ. මිල අඩු නිසා පංචිකාවත්තෙන් ගොඩක් අය වාහන අමතර කොටස් මිලදී ගන්නවා. තවත් හේතුවක් තමයි වෙළෙඳපොළේ පවතින තරගකාරිත්වය. මේ අවටම වාහන අමතර කොටස් අලෙවිසැල් කීපයක්ම තියනවා. පාරිභෝගිකයන්ට තෝරාගන්න අවස්ථාව වැඩි නිසා මිල අඩුම තැනට තමයි යන්නේ. ඔය වගේ හේතු නිසා තමයි බිස්නස් අඩු වෙන්නේ.
ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා
මේ දිනවල බිස්නස් අඩුයි