අවම වශයෙන් කර්මාන්තශාලා 115 කට ආසන්න සංඛ්‍යාවකට නැවත ගොඩ ගැනීමට නොහැකි මට්ටමට දැවැන්ත හානියක් සිදුවෙලා
නිෂ්පාදනය කරමින් තිබූ අමු උළු දියවෙලා ගිහිල්ලා
රටේ සෙවිලි අවශ්‍යතාවෙන් සියයට 30 ක් සැපිරුවේ මැටි ආශ්‍රිත සෙවිලි උළුවලින්. අද වන විට එම කර්මාන්තය පතුලටම වැටිලා
කඩිනම් වැඩපිළිවෙළක් යටතේ මේ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න
අවුරුදු 20 ක් තිස්සේ කරගෙන ආපු ව්‍යාපාරය එක දවසින් විනාශ වෙලා
සඳලංකාව හේමලතා ඩී හේවගේ
ඉකුත් දිනවල පැවැති අධික වර්ෂාවත් සමග මා ඔය පිටාර ගැලීම හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තවරවිල, වයිකකාල, ඇතුළු ප්‍රදේශ රැසක උළු කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව එම කර්මාන්ත කරුවෝ පවසති.
මා ඔයට ආසන්නයේ පිහිටි ඇතැම් කර්මාන්තශාලා ජල පහරට හසු වී භූමියද සමග මා ඔයට ගසාගෙන ගොස් ඇති අතර ඇතැම් කර්මාන්තශාලා ජලයෙන් යටවීම නිසා ඒවායේ නිෂ්පාදනය කරමින් තිබූ උළු හා මැටි විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති බවද ඔවුහු කියති.
බොහෝ කර්මාන්තශාලාවල ජල ගැල්ම සිදුවන අවස්ථාවේදී නිෂ්පාදනය කරන ලද උළු විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබූ අතර එම උළු සහ මැටි භාණ්ඩ ඇතුළු තවත් බොහෝ දෑ ජලයට හසුවීමෙන් විනාශ වී ඇති බවත් එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.
දංකොටුව මෝරුක්කුලිය ප්‍රදේශයේ පදිංචි ස්ටැන්ලි තිසරා මහතා උළු කර්මාන්ත ශාලා දෙකක හිමිකරුවෙකි. ඔහුගේ එම කර්මාන්තශාලා දෙකම ජල ගැල්මට හසු වී ඇත. ඔහුගේ කර්මාන්තශාලාවලට සිදු වූ විනාශය පිළිබඳව පැවසුවේ මෙසේය.
මට උළු කර්මාන්තශාලා දෙකක් තියෙනවා. ඒ දෙකම ජලයෙන් යටවුණා. සිදුවූ පාඩුව මෙපමණයි කියලා නිම කරන්න බැහැ. අපි හම්බ කරපු සියලු සේසතම වියදම් කළේ ඔය කර්මාන්ත ශාලාවලට. කවදාවක්වත් හිතුවේ නෑ මෙවැනි විනාශයක් සිදුවෙයි කියලා. ඒ ආපු ජල කඳ අපේ මුළු සේසතම උදුරගෙන මහ මුහුදට ගලා ගෙන ගියා. මට කෝටි ගාණක් පාඩුයි.
නැවත මෙම කර්මාන්තශාලා ආරම්භ කරන්නේ කොහොමද කියලත් අපිට හිතාගන්න බැහැ.
සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බැක්ටිස් ප්‍රනාන්දු මහතා තමන් ඇතුළු තම කර්මාන්තකරුවන්ට සිදුවූ විනාශය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
පසුගිය කාලයේ දිවයින පුරා නිෂ්පාදන මට්ටමේ උළු කර්මාන්තශාලා 225 ක් විතර තිබුණා. එයිනුත් සියයට 50 ක් විතර තමයි පූර්ණ නිෂ්පාදන මට්ටමේ තිබුණේ. සේවක හා වෙනත් ගැටලු නිසා අනෙකුත් කර්මාන්තශාලා අඩක් නිෂ්පාදන මට්ටමේ තමයි තිබුණේ. එවැනි වාතාවරණයක් තුළ පසුගිය දිනවල පැවැති ගං වතුර තත්වයෙන් අපේ කර්මාන්තශාලාවලට මහා විනාශයක් සිදුවුණා. එයින් කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් අවම වශයෙන් කර්මාන්තශාලා 115 කට ආසන්න ගණනකට නැවත ගොඩ ගැනීමට නොහැකි මට්ටමට දැවැන්ත හානියක් සිදුවෙලා තියෙනවා. නිෂ්පාදනය කරමින් තිබූ අමු උළු දියවෙලා ගිහිල්ලා තියෙනවා. ගබඩා කරපු පුළුස්සන ලද උළු ඇතුළු සියලු නිෂ්පාදන ද්‍රව්‍ය විනාශ වෙලා ගිහිල්ලා තිබුණා.
අද උළු කර්මාන්තකරුවන් ඉතා අන්ත අසරණ තත්වයකට පත්වෙලා තියෙන්නේ. රජය මේ වෙද්දි කඩිනම් වැඩපිළිවෙළක් සිදු කරමින් පවතිනවා. ඒ වැඩ පිළිවෙළ අඛණ්ඩව ගෙනිහිල්ලා මේ කර්මාන්තශාලා හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. රටේ සෙවිලි අවශ්‍යතාවෙන් සියයට 30 ක් සැපිරුවේ මේ මැටි ආශ්‍රිත සෙවිලි උළුවලින්. අද වන විට එම කර්මාන්තය පතුලටම වැටිලා තියෙන්නේ. අපි රජයෙන් ඉල්ලන්නේ කඩිනම් වැඩපිළිවෙළක් යටතේ මේ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලයි.
උළු කර්මාන්ත ශාලා හිමිකරුවකු වන නිලන්ත ප්‍රනාන්දු මහතා ද අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අවුරුදු 20 ක් තිස්සේ කරගෙන ආපු මේ ව්‍යාපාරය එක දවසින් විනාශ වෙලා ගියා. මේ තාක් අපි උපයපු ධනය සියල්ලම යට කරලා තිබුණේ ඕකට තමයි. අද අපට තියෙන්නේ ඇඳිවත විතරයි. මේ කර්මාන්ත නැවත ආරම්භ කරන්න පුළුවන් වෙයිද කියල හිතන්නත් අමාරුයි. බිංදුවේ ඉඳන්ම අපට හැදෙන්න වෙලා තියෙන්නේ.
වැඩ කරන්න සේවකයොත් නැහැ. හිටපු අයත් අපිව දාලා ගියා.
ගෝල්ඩන් රවුන් උළු කම්හලේ හිමිකරුවන අජිත් සමන්ත මහතා පැවසූවේද මෙවැන්නකි.
මා ඔයෙන් ආපු ජල පහර ගලාගෙන ගියේ මගේ මේ උළු කර්මාන්ත ශාලාව හරහායි. හදපු උළු, ටයිල් වර්ග, මැටි භාණ්ඩ ඇතුළු සියලු දේම වතුරෙ ගහගෙන ගියා. කෝටි ගානක පාඩුවක් මට සිදුකරලයි මේ ජල කඳ ගලාගෙන ගියේ. ඇත්තටම හිතාගන්නවත් බෑ කොහොමද මේක ආයේ ගොඩ ගන්නේ කියලා.
අපිට වෙන ව්‍යාපාර නැහැ. නැවත අපේ ජීවිතය ගොඩනගා ගන්න මේ උළු කර්මාන්තය ආරම්භ කරන්න අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.

තඹරවිල ප්‍රදේශයේ පිහිටි සඳුන් උළු කර්මාන්තශාලාවේ හිමිකරුවන ශ්‍රියන්ත පෙරේරා මහතාද පැවසුවේ මෙවැන්නකි.
අපි ජීවිත කාලෙම උපයපු දේවල් තමයි මා ඔයට ගසාගෙන ගියේ. මගේ කර්මාන්තශාලාව පිහිටා තියෙන්නෙ මා ඔය ආසන්නයේමයි. භූමියෙනුත් කොටසක් මා ඔයට ගසාගෙන ගියා. ජල පහරේ දැඩි බවට ඉවුරු ඛාදනය වන ප්‍රමාණය වැඩියි.
උළු කර්මාන්තශාලාවේ තිබුණ ගොඩක් දේවල් විනාශ වෙලා ගියා. අනෙක් කර්මාන්ත කරුවන් කියන විදිහට අපිටත් බිංදුවේ ඉඳන් තමයි නැවත ගොඩනැගෙන්න වෙලා තියෙන්නේ. ඒකට ශක්තියක් රජයෙන් අවශ්‍යයි. අපේ කර්මාන්තශාලාවලට ලබා දෙන සහනය කඩිනමින් අපිට ලැබිය යුතු වෙනවා. කොරෝනා ව්‍යසනයෙන් උළු කර්මාන්තශාලා බොහොමයක් වැහිලා ගියා. අද වෙලා තියෙන්නේ එයිටත් වඩා ලොකු විනාශයක්.
මා ඔයේ ජාල රකුසාට බිලි වූ උළු කර්මාන්තය