මෝදරවත්ත ධීවර තොටුපොළේ මෝය කටේ වැලි ඇහිරී ඇති අයුරු
මෝදරවත්ත ධීවර තොටුපොළේ බීගන් ලාම්පුව නැති කණුව |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
එදා බලපිටිය බලවත් ලෙසම බැබළවූ කර්මාන්ත රැසක්ම තිබුණේය. ලණු කොහු, ධීවර සහ පේෂකර්ම කර්මාන්ත ඒ අතරය. මේ අතරින් ප්‍රධාන ස්ථානය හිමි වූයේ ධීවර කර්මාන්තයටය. ධීවර කර්මාන්තයද එදා බලපිටියේ දෙයාකාරය. ඒ කරදිය සහ මිරිදිය වශයෙනි. මිරිදිය කර්මාන්තය කෙරුණේ මාදු ගඟේය. කරදිය කර්මාන්තය කෙරුණේ මහ මුහුදේය. එදා බලපිටියේ තිබූ මුහුදු කර්මාන්තයට සම කරන්න හෝ ඒ ආසන්නයෙන් යන මුහුදු කර්මාන්තයක් වෙනත් නුවරක නොවීය. ලංකාවේම රසවත්ම බල මාළුවලට බලපිටිය ප්‍රසිද්ධවී තිබුණි. මේ නිසාම එදා ගාලු පාරෙන් කොළඹ අන්තයට හෝ ගාලු අන්තයට යන විවිධ ප්‍රදේශවල ජනයා සිය මෝටර් රථය බලපිටිය නගර මධ්‍යයෙන් නවතා බලපිටියේ මාළු ලෑල්ලකින් බල මාළු මිලදී ගැනීමට පුරුදුවී සිටියහ. එදා බල මාළුවලින් ස්වයං පෝෂිතවූ බලපිටියේ ඇත්තන්ගේ බත් පතටත් අද බලමාළු ගෙනෙන්නේ බේරුවලිනි. නැත්නම් ගාල්ලෙනි. කුඩා වැල්ලෙන්, තංගල්ලෙන් ගේන අවස්ථා නැත්තේද නොවේ.
බල මාළුවලට ඉමහත් ප්‍රසිද්ධියක් ඉසුලූ බලපිටියේ බල මාළු ඇතුළු මුහුදු රස්සාවට අද සිදුව ඇත්තේ ඛේදනීය ඉරණමකි. හේතුව බලපිටියේ ධීවරයන්ගේ නම් නොවේ. බලපිටියේ බලධාරීන්ගේය. නැතහොත් කලින් කලට රට පාලනය කළ ඇත්තන්ගේ වැරදි නිසාය. බලපිටියෙන් සමුගෙන යාමට පටන්ගෙන ඇති කරදිය කර්මාන්තය රැක ගැනීමට කෙනකුට අවශ්‍ය නම් ඊට තවමත් ප්‍රමාද නැත. මේ ඒ පිළිබඳව බලපිටියේ බලධාරීන් මෙන්ම අදාළ වගකිවයුත්තන්ගේ දෙස් ඇරවීම සඳහා සම්පාදනය කෙරුණකි.
බලපිටියේ බල මාළු ඇතුළු මුහුදු ධීවර කර්මාන්තයට අද අත්ව ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව බලපිටියේ ධීවරයන් ඇතුළු කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ.
බලපිටියේ පාරම්පරික ධීවර කාර්මිකයකු වන හෙන්දහේවා අමරසිරි:
මෝදරවත්ත සහ හරස් පොළ බලපිටියේ ප්‍රධාන ධීවර තොටුපොළ දෙකයි. එදා අපේ මුත්තලා මේ තොටුපොළවල් දෙකෙන් මුහුදු ගියේ පිලාවලින් (ඔරු) තමයි. එදා මේ තොටු පොළවල් දෙකෙන්ම මුහුදු රස්සාව කරන්න යන්න ලොකු බලපෑමක් වුණේ නැහැ. එහෙත් අද තත්වය ගොඩක් වෙනස්. අද මේ ධීවර තොටුපොළවල්වලින් මුහුදු රස්සාව කරන්න අමාරුයි. මෝදරවත්ත ධීවර තොටුපොළ පිහිටලා තියෙන්නේ මෝය කටේ. මේ මෝය කට වසරේ වැඩි කාලයක් තියෙන්නේ වැලිවලින් ඇහිරිලා. නැත්නම් මුහුදට ධීවර යාත්‍රා ගන්න සහ මුහුදේ සිට ගොඩබිමට ගන්න තැන වැලිවලින් ඇහිරිලා කුඩා වෙලා. ඉතින් මෙතනින් ඔරුවක් හෝ මෝටර් බෝට්ටුවක් දියඹට දැමීමට සහ ගොඩබිමට ගැනීම හිතනා තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි.
මේ සඳහා අමතර ශ්‍රමිකයන් ගන්න වෙනවා අපේ ධීවර යාත්‍රාවක් මුහුදට දාන්න. එහෙමත් නැත්නම් අපි දුක් විඳලා අල්ලගෙන ගෙන මාළු අස්වැන්නෙන් භාගයක්ම දෙන්න වෙනවා මුහුදේ ඉදලා ගොඩ බිමට ධීවර යාත්‍රාවක් ගන්න. නැත්නම් ඉතිං අපේ ධීවර යාත්‍රා අනාරක්ෂිතව වැල්ලේම ගාල් කරන්න වෙනවා.
එහෙම අනාරක්ෂිතව වැල්ලේ ගාල් කළ ධීවර යාත්‍රා කිහිපයක්ම පහු ගිය කාලවලදී හදිසි සුළං සහ ලොකු රැළිවලට හසුවෙලා විනාශ වුණා. මේක කරන්න බැරිව බලපිටියේ බොහෝ අය ධීවර කර්මාන්තයෙන් ඈත් වුණා. සමහරු වෙන වෙන ධීවර වරාය කරා ගිය. ඒ එක්කම බලපිටියේ ධීවර කර්මාන්තයටත් කණකොකා හඬන්න පටන් ගත්තා.
අපි මෝදරවත්ත ධීවර තොටුපොළ වරායක් ලෙස සංවර්ධනය කරන්න කියලා දශක දෙක තුනකම ඉඳලා ඉල්ලනවා. මෙතෙක් පැවති සෑම රජයකම ධීවර ඇමතිලා පොරොන්දු වුණා මෙතන ධීවර වරායක් හදනවා කියලා. ඒ සඳහා මුල්ගල් කිහිපයක්ම තිබ්බා. මෝදරවත්ත ධීවර තොටුපොළට ධීවර වරායක් හදාදෙන්න කෙසේ වෙතත් තොටු පොළේ තිබ්බ බීගන් පහන විනාශවෙලා කාලයක් වෙනවා. මේ තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට මේ පහන නැති නිසා රෑට ගොඩබිමට එන්න ලොකු මහන්සියක් ගන්න වෙනවා.
බලපිටියේ ධීවරයකු වන ලහිරු සම්පත්:
මෝදරවත්තේ ධීවර වරායක් හදන්න යෝග්‍ය නැහැ කියලා බලපිටිය හරස්පොළේ හදමු කියලා යෝජනා වුණා. ඒ අනුව හරස්පොළ ධීවර තොටුපොළත් බලන්න අදාළ බලධාරීන්, නිලධාරීන් සහ මහජන නියෝජිතයන් ආවාගියා. එහෙත් තවමත් වැඬේ කෙරුණේ නැහැ. ඇත්තටම බලපිටියට ධීවර වරායක් අවශ්‍යයි. ධීවර වරායක් තියෙනවනම් ආයෙමත් බලපිටියේ ධීවර කර්මාන්තය පණ ගහලා එනඑක විශ්වාසයි.
හරස්පොළ ධීවර තොටුපොළේ ධීවර යාත්‍රා ආරක්ෂා සහිතව ගාල් කරන්න තැනක් නැහැ. කොච්චර අනාරක්ෂිත වුණත් අපේ යාත්‍රා තවමත් අපි ගාල් කරන්නේ හරස්පොළ වැල්ලෙයි. බලපිටියේ ධීවර කර්මාන්තය ගැන බලන්න කෙනෙක් නැහැ.
සුමිත් නන්දන: බලපිටියේ ධීවර කර්මාන්තයට වෙච්චදේට හරිම දුකයි. ඒ අතින් බලපිටියේ තවමත් ඉතිරි වෙලා ඉන්න ධීවරයන් වන අපිට ඇත්තේ ලොකු කණගාටුවක්. ධීවර වරායක් නෙමෙයි අපිට නැංගූරම් පොළක්වත් දුන්නොත් ලොකු පිනක්. මෙතන ධීවර වරායක් නැත්නම් නැංගූරම් පොළක් හදල දෙන්න කියලා අදාළ බලධාරීන්ගෙන් කොච්චර ඉල්ලලා ඇත්ද. ඔවුන් බීරි අලින් වගේ වගක් නැතිව ඉන්නවා. අපි මේ රස්සාව කරන්නේ වෙන කරන්න දෙයක් නැති කමටයි. අපිට අවශ්‍ය පහසුකම් දෙනවනම් එදා වගේම හෙටත් ධීවර කර්මාන්තයෙන් බලපිටිය එකට ගේන එක ගේනවාමයි.
බලපිටියට ධීවර වරායක් තියෙනවනම් සෘජු හා වක්‍ර රැකියා කොච්චර තියෙනවද. අද බලපිටියේ ඉන්නේ ධීවරයන් ඉතාම සුළු පිරිසයි. ධීවර වරායක් නැති නිසා බලපිටියේ ධීවර යාත්‍රා හිමියන් තමන්ගේ යාත්‍රා ගාල් කරන්නේ ගාල්ලෙයි බේරුවලයි. මේකත් බලපිටියේ ධීවර කර්මාන්තයට නරකට හිටියා.
මැදදූවගේ ජානක: බලපිටියේ ධීවරයන්ට ධීවර රැකියාව සඳහා කිසිම පගහුකමක් නැහැ. එදා මෝදරවත්ත, හරස්පොළ තොටුපොළවල්වලින් බලපිටියේ ධීවර යාත්‍රා විශාල සංඛ්‍යාවක් මුහුදු ගියා. එදා ගියේ පිලායි, මෝටර් බෝට්ටුයි විතරයි. බහුදින ධීවර යාත්‍රා ආවාම තත්වය වෙනස් වුණා. බහුදින ධීවර යාත්‍රාවක් ගාල් කරන්න අද බලපිටියේ තැනක් නැහැ.
පිලාවලින් සහ මෝටර් බොට්ටුවලින් මුහුදු යන අය හිඟවුණා. බලපිටියෙන් ධීවර කර්මාන්තය සමුගෙන යන්න එයත් එක හේතුවක් වුණා. බහුදින ධීවර යාත්‍රා ගාල් කරන්න තැනක් නැති නිසා බලපිටියේ ධීවර යාත්‍රා හිමියන්ගෙන් වැඩිදෙනෙක් සිය යාත්‍රා ගාල් කරන්නේ බේරුවල. එසේ ගාල් කරන ධීවර යාත්‍රාවලට බේරුවල ධීවරයන්ගෙන් නොයෙකුත් කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. මේ අවනඩුව කාට කියන්නද. කිවත් කවුද බලන්නේ. බලන්න කිසිම කෙනෙක් නැහැ.
තවත් කාරණය තමයි බේරුවල වරායේ ගාල් කරලා තියෙන බලපිටියේ බහු දින ධීවර යත්‍රාවලට අවශ්‍ය ධීවරයන් ගන්නේ බේරුවලින්. ඒක යාත්‍රා හිමියන්ට ලාබයි. එවිට බලපිටියේ ධීවරයන්ට රස්සා නැතිවුණා. අසරණ වෙච්ච ධීවර පවුල් බලපිටියේ ගොඩක් ඉන්නවා.
බලපිටිය ප්‍රාදේශීය සභා මන්තී අජිත් අසේල: ඇත්තටම කරදිය ධීවර කර්මාන්තය හෙවත් මුහුදු ධීවර කර්මාන්තය බලපිටියෙන් ඈත්වීමට පටන් අරන් කාලයක් වෙනවා. මේක බලපිටියේ ධීවරයන්ගේ වරදක් නිසා වුණු දෙයක් නොවේ. බලපිටියේ ධීවරයන් කැමැත්තෙන් නෙමෙයි මේ රස්සාවෙන් අයින් වුණේ. කරන්නම දෙයක් නැති කමටයි. බලපිටියට ධීවර වරායක් කෙසේවෙතත් නැංගූරම් පොළක්වත් තිබුණානම් එහෙම වෙන්නේ නැහැ.
ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ: බලපිටියේ ධීවරයන්ට ධීවර ගැටලුවක් තියෙන එක ඇත්ත. මම මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමිනුයි ඉන්නේ. මම බලපිටියේ ධීවර නිරීක්ෂණයකට ද සහභාගී වුණා. පසු ගිය ආණ්ඩු නිසි අධ්‍යයනයකින් තොරව බලපිටිය මෝදරවත්ත ධීවර තොටුපොළ පාදක කරමින් වරායක් හදන්න කටයුතු කළා. ඒ සඳහා මුල්ගල් ද තැබුවා. එහෙත් එතන ධීවර වරායක් හදන්න සුදුසු නැහැ කියලා හඳුනාගෙන තියෙනව. හරස්පොළ ධීවර තොටුපොළ යෝග්‍ය නම් ඒ සඳහා නිසි අධ්‍යයනයකින් පසුව ධීවර වරායක් කෙසේවෙතත් නැංගූරම් පොළක්වත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම බලපිටියේ ධීවර කර්මාන්තය යළි නඟා සිටුවීමට අවශ්‍ය පියවර නොඅඩුව ගන්නවා.
අනාරක්ෂිත හරස්පොළ ධීවර තොටුපොළ
බලපිටියේ ධීවර කර්මාන්තයේ අර්බුදය