IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


බෙන්තොට කඩොලාන නැරඹුම් මධ්‍යස්ථානය තවත් අසාර්ථක සංචාරක ව්‍යාපෘතියක්

කඩොලාන සංරක්ෂණාගාරය වසා දම ඇති අයුරු.

  • ව්‍යාපෘතිය ආරම්භ කළේ 2005 වසරේදී. ඇස්තුමේන්තු ගත මුදල රැපියල් ලක්ෂ එකසිය විස්සක්
  • මේ සඳහා වියදම් කළ මුදලින් සත පහකවත් වැඩක් රටටවත් ගමටවත් ගන්න බැරිවෙලා
  • කඩොලාන සංරක්ෂණාගාර ගොඩනැගිල්ල කිසිම ප්‍රයෝජනයක් නැතිව විනාශයේ
  • ලක්ෂ ගාණක් වැයකර ඉදිකළ අංග සම්පූර්ණ වැසිකිළි කැසිකිළි පද්ධතියත් විනාශයේ

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ

රටක් දියුණු කිරීමට නම් රටේ සම්පත් නිසිලෙස කළමනාකරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. විශේෂයෙන්ම රටේ දියුණුවට යයි කියමින් ආරම්භ කරන යෝධ ව්‍යාපෘතිවලට යොදවන ජාතික ධනය නිසිලෙස කළමනාකරණය කිරීම අතිශයෙන්ම වැදගත්ය. එම ව්‍යාපෘති සඳහා යට කරන මුදල්වලින් ලැබෙන ආර්ථික වාසියේ අඩු වැඩිකම මත රටේ ඉදිරි ගමන තීරණය කරනු ලබයි.
ගෙවී ගිය දශක ගණනාව තුළ එක එක පක්ෂවලින් කෝටි ගණන් මුදල් යටකර ආරම්භ කළ ව්‍යාපෘතිවලින් අඩුම තරමේ සත පහකවත් ආර්ථික වාසි නැති ව්‍යාපෘති මෙසිරි ලක ඕනෑ තරම් තිබේ. දෙස් විදෙස් සංචාරක පුරවරයක්වූ බෙන්තොටද එවන් ව්‍යාපෘතියක් තිබේ.

දෙස් විදෙස් සංචාරකයන් විශේෂයෙන්ම මෙරට මෙන්ම විදෙස් රටවල විශ්වවිද්‍යාලවල සිසුන් දසදෙස පරිසරවේදීන් බෙන්තොට සංචාරක පුරවරයට අද්දවා ගැනීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගත්තේ බෙන්තොට බෝධිමලු‍ව රජ මහා විහාරස්ථාන ගං ඉවුර පාදක කරගෙනය. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබීය. කඩොලාන සංරක්ෂණ, නැරඹුම් සහ මිරිදිය මත්ස්‍ය අභිජනන, සංරක්ෂණ මධ්‍යස්ථානය නමින් මේ ව්‍යාපෘතිය නම් කරන ලද්දේය. මේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදී තිබුණේ එවකට ධීවර අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාය. ව්‍යාපෘතිය ආරම්භ කළේ 2005 වසරේදීය. ඇස්තුමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ එකසීය විස්සකි.

බෙන්තොට බෝධිමළුව විහාරස්ථ ගං ඉවුර මේ මධ්‍යස්ථානය සඳහා පාදක කරගෙන තිබුණේ ඊට යෝග්‍ය විශේෂ හේතු කිහිපයක්ම නිසාය. ලෝකයේ දුර්ලභම කඩොලාන ශාක විශේෂ කිහිපයක්ම මේ ගං ඉවුරේ තිබීම ඊට එක හේතුවක්ය. අනෙක දුර්ලභ මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන දිමිත්තා මත්ස්‍ය විශේෂය බෙන්තොට බෝධිමළුව ගං ඉවුරු ආසන්නයේ බෙන්තර ගඟේ ජීවත්වීමය. මේ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ලංකාවේ යෝග්‍යම ස්ථානය බෙන්තොට බෝධිමළුව විහාරස්ථ ගං ඉවුරය.  බෙන්තොට බෝධිමළුව රාජ මහා විහාරාධිපති වැයිහේනේ සුමනකිත්ති හිමියෝ මෙසේ කීහ:- එවකට වැඩසිටි අපේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් තමයි එවකට ධීවර අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් අපේ පන්සල් වත්ත පාමුල මේ මධ්‍යස්ථානය ඉදිකරන්න කියලා ඉල්ලීම් කළේ. ඒ අනුවයි මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට පියවර ගත්තේ. ඒකේ කිසිම වරදක්නම් නැහැ. මේ වගේ මධ්‍යස්ථානයක් බෙන්තොට තිබුණනම් මෙය බලන්න දෙස් විදෙස් සංචාරකයෝ එනවා. ඒ අය එනවා කියන්නේ බෙන්තොටට වගේම ලංකාවට ඩොලර් එනවා. මේ ව්‍යාපෘතිය ලත් තැනම ලොප් වුණා. මේ සඳහා වියදම් කළ මුදලින් සත පහකවත් වැඩක් රටටවත් ගමටවත් ගන්න බැරිවුණානේ. ඒක රටට තවත් සුදු අලියෙක් වුණා. 

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ.ඉඳුරුවගේ :- කඩොලාන සංරක්ෂණ හා නැරඹුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසාන අදියරේ පැවතුණේ. මෙහි දුර්ලභ කඩොලාන ශාක තියෙනවා. මම හිතන්නේ නැහැ මේ වගේ කඩොලාන ලංකාවේ වෙන කොහේවත් ඇති කියලා. ඒ තරම්ම දුර්ලභ කඩොලාන තමයි මෙහි තියෙන්නේ. ඒ වගේම තේක්ක, බුරුත, නැඳුන් වගේ ඉතා විශාලෙට හැදුණු කඩොල් ගසුත් මෙහි තියෙනවා. මේ කඩොලාන පරිසර පද්ධතිය රටටම ඩොලර් ගේන්න පුළුවන් ව්‍යාපෘතියක්. එදා මේ බිමේ කඩොලාන වර්ගවල නම් ගහපු ලොකු දැන්වීම් පුවරු තිබුණා. දැන් එකක්වත් නැහැ. මේ දැන්වීම් පුවරුවලට ලක්ෂ ගණනක මුදලක් වියදම් කරන්න ඇති. 

මේ බිමට එන අයට වේදිකාවක් මතින් ගිහිල්ලා කඩොල් නරඹන්න තමයි හදලා තිබුණේ. දැන් එම පීඨිකාව තිබූ තැනක්වත් සොයා ගන්න බැරි විදිහට කැලෑවට යටවෙලා. එම ලෑලි තට්ටුවෙ දැන් තියෙන්නේ සුන්බුන් විතරයි. කවුද මේවාට වගකියන්නේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රි මධුභාෂිනා දිල්හානි :- මේ මධ්‍යස්ථානයට රුපියල් ලක්ෂ ගණනක් වියදම්කරලා කඩොලාන සංරක්ෂණාගාරයක් ඉදිකරලා තියෙනවා. මේ ගොඩනැගිල්ල කිසිම ප්‍රයෝජනයක් නැතිව විනාශවෙවී යනවා. මේ ස්ථානය ඉදිකළේ දුර්ලභ කඩොලාන සංරක්ෂණය කරලා ව්‍යාප්ත කරන්නයි. හොඳ වැඩක් වෙනුවෙන් තමයි මේ ගොඩනැගිල්ල ඉදිකළේ. මේවට වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම දඩුවම් පමුණුවන්න ඕන. නිලධාරීන්ට බලධාරීන්ට ඕන ඕන විදියට ජාතික ධනය නැති නාස්ති කරන්න දෙන්න හොඳ නැහැ. 

ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලෙනිකා දුෂාන්ති:- මේ මධ්‍යස්ථානය නැරඹීමට එන සංචාරකයන් ඇතුළු පිරිසට හදිසි අවශ්‍යතාවකදී යෑමට අංග සම්පූර්ණ වැසිකිළි කැසිකිළි පද්ධතියක් ඉදි කෙරුවා. එහි ඉදිකිරීම් බොහෝ දුරට නිමාවට පත් වෙලා තියෙනවා. තව පොඩි වැඩ කිහිපයයි තියෙන්නේ. මේ සඳහාත් රුපියල් ලක්ෂ ගණනක් වැය කරන්න ඇති. දැන් මේ වැසිකිළි කැසිකිළි පද්ධතියත් විනාශවෙවී යනවා. අවුරුදු ගණනක් තිස්සේ ඉඳලාම මේ සම්පතත් විනාශවෙවී යනවා. මේ මධ්‍යස්ථානයට අත්වෙලා තියෙන අවාසනාවන්ත තත්වය දැක්කාම පපුව හෝස් ගාලා පත්තුවෙලා යනවා.

දෙස් විදෙස් සංචාරකයන්ට පාරාදීසයක්වූ බෙන්තොට මේ මධ්‍යස්ථානය එදා විවෘත කළානම් මේ වනවිට රටට ලැබෙන ඩොලර් ගණන දන්නේ උඩ ඉන්නා දෙවියන් විතරයි. එදා මේ මධ්‍යස්ථානය විවෘත කිරීමට හොඳටම ඉඩකඩ තිබුණා. එහෙත් එහෙම කළේ නැහැ. දැන් මේ මධ්‍යස්ථානය එදා තිබූ තත්වයට ගෙනැල්ලා විවෘත කරනවානම් ඒ සඳහා තවත් රුපියල් කෝටියක් විතර යනවා. මේ තත්වයට පත් කළ අයගෙන් මුදල් අයකරලා මේ මධ්‍යස්ථානය ස්ථාපිත කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

එම්.මලින්ද චන්දිකමල්- කඩොලාන සංරකෂණ හා නැරඹුම් මධ්‍යස්ථානයට සමගාමීව බෙන්තර ගඟට ආවේනික මත්සයන් මෙන්ම දුර්ලභ මිරිදිය මත්සයන් අභිජනනය කරලා සංරක්ෂණය කිරීමට මේ ගං ඉවුරම තෝරාගෙන තිබුණා. ඒ සඳහා බෙන්තර ගඟ කොටු කරන්න දැල් සහ බෝයාවල් ගෙනැල්ලා තිබුණා. ඒ සඳහාද විශාල මුදලක් යටකරලා තිබුණා. අද ඒ සඳහා ගෙන ආ දැල් සහ බෝයාවල් දක්නට ලැබෙන්නේ නැහැ. ඒවාට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මේ වගේ ජාතික ධනය නාස්ති කිරීමට ඉදිරියේදීවත් ඉඩදෙන්න හොඳ නැහැ. වර්ෂ 2005 දී මේ සඳහා රුපියල් ලක්ෂ 120ක් වියදම් කළා කියන්නේ අද කාලයේ හැටියට නම් රුපියල් කෝටි ගණනක ධනස්කන්ධයක්.

රටට හොඳ ආදායමක් ගන්න තිබුණු හොඳ ව්‍යාපෘතියක් මේක. මේ මධ්‍යස්ථානය අද විවෘත වෙලා තිබුණනම් අද බෙන්තොට බෝධිමලු‍ව ප්‍රදේශය සංචාරකයන්ගෙන් පිරී ඉතිරිලා යනවා. එවිට ගම්මුන්ගේ ආදායම මෙන්ම රටේ අදායමද ඉහළ යන එක සිකුරුයි. මේ වගේ සුන්දර ස්ථානයක් ලංකාවේ කොහේවත් නැහැ.

බෙන්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා:- බෙන්තොට සංචාරක පුරවරයේ මේ වගේ අසාර්ථකවූ එහෙත් රුපියල් කෝටි ගණන් ජනතා මුදල් කාබාසිනියා කළ ව්‍යාපෘති රැසක්ම තියෙනවා. මේ වගේ ව්‍යාපෘති නිසා තමයි අපේ රට වැටුණේ. ඒ වැටුණු වැටිල්ලට කර ගහන්න වෙලා තියෙන්නේ දැන් අපිටයි. 

බෙන්තොට කඩොලාන සංරක්ෂණ සහ නැරඹුම් මධ්‍යස්ථානය පිළිබඳවත් මට තොරතුරු ආවා. ඒ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් කරලා සිදුව ඇති ව්‍යසනය සියැසින් දැකබලා ඒ සඳහා ගතයුතු කඩිනම් විසඳුම ගන්න අපි අමතක කරන්නේ නැහැ. ඒ වගේම මේ මධ්‍යස්ථානයට මේ තත්වයට වගකිවයුත්තන් කවුද කියලා සොයා බලන්නත් අමතක කරන්නේ නැහැ.

 



අදහස් (0)

බෙන්තොට කඩොලාන නැරඹුම් මධ්‍යස්ථානය තවත් අසාර්ථක සංචාරක ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site