බදුල්ලේ පාලිත ආරියවංශ
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, ලුනුගල, කන්දකැටිය, මීගහකිවුල, සොරණාතොට ඇතුළු ප්‍රදේශ වල කිතුල් කර්මාන්තයට ලොකු ඉතිහාසයක් තිබේ.
පසුගිය කාලයේ කිතුල් කර්මාන්තය දියුණු කිරීමට රජයේ මැදිහත් වීමෙන් මේ කර්මාන්තකරුවන්ට කිතුල් මල් මැදීම හකුරු සහ පැණි සෑදිම යනාදියට අවශ්‍ය උපකරණ ප්‍රදානය කළේය. කිතුල් කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා දැනුවත් කිරීම් යනාදිය සිදුවුවත් වඳුරන් සහ රිළවුන් කිතුල් මල් වනසා ඇල් තෙලිජ්ජ පානය කර සියල්ල විනාශ කිරීමත් සමග මෙම කර්මාන්තය අභාවටය යමින් තිබේ.
එසේ තිබියදී සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ යටතේ 2021 වසරේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 10 ක පවුල් 161කට නියමු ව්‍යාපෘතියක් ලෙස කිතුල් පැණි සහ හකුරු සැදීම සඳහා ගෑස් උඳුන් තාච්චි මෙන්ම ආරක්ෂක බඳ පටි සහ පිහි යනාදිය ලබාදී තිබිණ. කෙසේ නමුත් මෙසේ ලබාදුන් උපකරණ යළි ඉල්ලා ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ලියුම් එවා ඇති බවත් දැනටමත් කීප දෙනකුගේ එම උපකරණ නැවත ලබාගෙන ඇති බවත් අසරණව සිටින මෙම ගම්වැසියෝ පවසති.
පසුගිය රජය කාලයේ ලබාදුන් මෙම උපකරණ වත්මන් රජය ලබාගෙන ඔවුන් විසින් හඳුන්වා දෙනුලැබූ ව්‍යපෘතිවල ලාභීන්ට ඒවා ලබාදීමට කටයුතු කරමින් සිටිනබවට ගම්මු චෝදනා කරති. කිතුල් කර්මාන්තය සඳහා ග්‍රාම නිලධාරි කොට්ඨාස 10 කට ලබාදී ඇති මෙම උපකරණ සමහර ප්‍රතිලාභින් විසින් භාවිත කොකරන බවට ඒ පිළිබඳව කළ සමීක්ෂණයකින් හෙළිවීම නිසා මෙසේ එම උපකරණ නැවත ලබාගැනීමට කටයුතු කරන බව පස්සර ප්‍රාදේශීයලේකම් ගංගානි සෝමවීර මහත්මියගේ අත්සනින් යුතුව මෙම කිතුල් කර්මාන්තකරුවන්ට එවා ඇති ලිපියේ සඳහන්ය.
මෙම උපකරණ ප්‍රයෝජනයට නොගෙන සන්තකයේ තබාගැනීම රජයේ දේපල අවභාවිතය කිරීමක් මෙන්ම ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමක්වන බැවින් ගිවිසුම ප්‍රකාර නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද පස්සර ප්‍රාදේශීය ලේකම්වරියගේ අත්සන සහිතව නිකුත් කර ඇති ලිපියේ සඳහන් වෙයි.
මඩුගස්තලාව, පරමහංකඩ, මාළිගාතැන්න ගැරඩිඇල්ල කහටරුප්ප, වැල්ගොල්ල, පාලාවත්ත, දඹකොටේ. තළගහගෙදර, එගොඩගම යන ගම්මානවල පවුල් 161 ක කිතුල් කර්මාන්තයේ වූවන්ට මෙම උපකරණ ලබාදි තිබූ බව අප කළ විමසුමකදි පස්සර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවිර මහත්මිය පැවසුවාය.
ප්‍රාදේශීය ලේකම්වරිය මෙසේද පැවසුවාය. ප්‍රයෝජනයට නොගෙන තිබෙන උපකරණ නැවත ලබාගැනීමට කටයුතු කරගෙන යනවා.
මෙම ගෑස් උඳුන් ඔවුන්ට දුන්නට ගෑස් සිලින්ඩර ලබාදී තිබුණෙත් නැහැ. ඒනිසා සමහරු කවදාවත් ඒවා කිතුල් කර්මාර්තයට පාවිච්චි කරලා නැහැ. අපි මේ ප්‍රතිලාභය ලැබු සියලු දෙනාට අකෘති පත්‍රයක් දිලා තොරතුරු රැස්කරගෙන විමර්ශනයක්ද කළා. ඒ අනුව මෙම උපකරණ භාවිත නොකරන පවුල් 50 ක් හඳුනාගෙන ඒ අයගේ උපකරණ ආපසු ගැනීමට තීරණය කළා.
මෙසේ ආපසු ලබාගන්නා උපකරණ ග්‍රාම සංවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාතමක් කර ඇති ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනේ ව්‍යවසායකයන්ට ලබාදීම සඳහා අපට උපදෙස් ලැබිලා තියෙනවා. දැනටමත් 18 දෙනකුගේ උපකරණ නැවත ලබාගෙන තිබෙනවා.
මෙම කර්මාන්තකරුවන් පවසන්නේ රිළා උවදුර නිසා තම කිතුල් කර්මාන්තය කඩාවැටෙමින් තිබෙන අවධියක තමන්ට ලබාදුන් උපකරණ මෙසේ යළි රජයට ලැබගැනීම අයුක්ති සහගත අසාධාරණ ක්‍රියාවක් බවයි. පසුගිය රජය විසින් ලබාදුන් මෙම උපකරණ යළි ඉල්ලා නව රජයෙන් හඳුන්වාදී ඇති ව්‍යපෘතියක නව ප්‍රතිලාභින්ට ලබාදීම වෙනුවට කළ යුත්තේ රිළා සහ වඳුරු උවදුරු ඇතුළු බාධක ඉවත් කර වැඩි වැඩියෙන් මේ කර්මාන්තයට උදව් කිරීම බවද ඔවුහු අවධාරණය කරති.
කිතුල් කර්මානත්ය නගාසිටුවීමට රජයේ කිසිම උනන්දුවක් හෝ වැඩ පිළිවෙළක් නැති බවටද ඔව්හු චෝදනා කරති.
මැදවෙලගම ශ්‍රී නාගාරාම විහාරාධිකාරී ගැරඬිඇල්ලේ කුසලධම්ම හිමි: අපේ ගම්මනවල කිතුල් කර්මාන්තයට ලොකු ඉතිහාසයක් තියෙනවා.
ඒ දවස්වල කිතුල් පැණි සහ හකුරුවලට මේ ගම්මාන හරිම ප්‍රසිද්ධයි. එහෙත් වඳුරු හා රිළා උවදුර නිසා දැන් විශාල පිරිසක් මේ කර්මාන්තය කරගන්න බැරිව අන්ත අසරණ වෙලා. මෙම ගම්වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි කිතුල්කර්මාන්තය. මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා දැන්වත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. උපකරණ යළි ලබා ගැනීම වෙනුවට එම උපකරණවලින් වැඩගතහැකි තත්වයක් ඇතිකිරීම ඉතා වැදගත්.
ඩී. එම්. කරුණාපාල: අපි කිතුල් කර්මාන්ත සාර්ථක කරගෙන යනවා. කිතුල් පැණි මෙන්ම කිතුල් හකුරු නිපදවනවා. රිළා උවදුර මධ්‍යයේ තමයි ඉතා අසීරුවෙන් මෙම කර්මාන්තය කරගෙන යන්නේ. අපටත් පසුගිය රජය කාලේ මේ උපකරණ කට්ටලය ලැබුණා. දැන් ගමේ ගොඩාක් අයට ලියුම් ලැබිල තියෙනවා මේවා ආපසු දෙන්න කියලා. ඒක ලොකු අසාධාරණයක්.
ආර්. එම්. ජයසේකර: මගේ ගස්වලට එන රිළා රංචු ඇල්තෙලිජ්ජ ටික බීලා යනවා. මේනිසා මම අන්ත අසරණ වෙලා. අමාරුවෙන් හකුරු ටිකක් හදලා ජීවත්වෙනවා. අපට දුන්න උපකරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ උපදෙස් අනුව නැවත ඉල්ලාගෙන ගියා. මේ උපකරණ නැවත ඉල්ලාගෙන මේ ආණ්ඩුවෙන් දියත් කළ වෙනත් ව්‍යාපෘතියක ප්‍රතිලාභින්ට දීම කොච්චර අසාධාරණද ?
ඩී. එම්. ප්‍රේමරත්න: ඉස්සර හැම ගෙදරකම වගේ කිතුල් කර්මාන්තය තිබුණා. රිළා උවදුරත් එක්ක සමහර අය මේක කරගන්න බැරිව අතහැරියා.
පාරම්පරිකව මේක රැකගෙන එන පිරිසක් ඉන්නවා. ඔවුන්ට පසුගිය රජය කාලයේ මේ කර්මානත්යට දුන්න උපකරණ යළි රජයට ලබා ගැනීම ගැන අපි දැඩි අප්‍රසාදය පළ කනරවා. කළ යුත්තේ මේ කර්මාන්තය රැක ගැනීමට ඔවුන්ගේ ගැටලු සොයා ඒවාට විසඳුම් ලබාදීමයි.
බදුල්ලේ කිතුල් පැණි කර්මාන්තය වළපල්ලට