|
කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් |
HNB Finance PLC 2025/26 මූල්‍ය වර්ෂයේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින්, වගකිවයුතු මූල්‍ය සේවා සැපයීම, අවදානම් කළමනාකරණය සහ පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව සිටී. මේ HNB Finance PLC කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා සමග කළ සාකච්ඡාවකි.
HNB Finance PLC 2025/26 මූල්‍ය වර්ෂයේ දැක්වූ මූල්‍ය කාර්යසාධනය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද ?
2025/26 මූල්‍ය වර්ෂය HNB Finance PLC සඳහා ඉතා වැදගත් වසරක් වුණා. සමාගම සිය බදු පසු ලාබය රුපියල් බිලියන 1.68ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 120ක වර්ධනයක්. එමෙන්ම බදු පෙර ලාබයද රුපියල් බිලියන 2.2 සිට රුපියල් බිලියන 3.9 දක්වා ඉහළට ගෙන යෑමට සමත් වුණා.
මෙය ඉලක්කම් මත සිදු වූ ජයග්‍රහණයක් පමණක් නොව, අපගේ ව්‍යාපාරික ක්‍රමෝපාය, අවදානම් කළමනාකරණය සහ වෙළෙඳපොළ අවස්ථා නිවැරදිව හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිලිබිඹු කරන ප්‍රශස්ත අවස්ථාවක් ලෙස මෙම ජයග්‍රහණය මට අර්ථ ගැන්විය හැකියි.
සමාගමේ වත්කම්, ණය කළඹ සහ ආයතනයේ මූල්‍ය සේවා මෙහෙයුම් ක්‍රියාවලිය ගැන සලකා බැලීමේදී සෙසු මූල්‍ය සමාගම් අතර HNB Finance PLC හිමිකර ගෙන සිටින වෙළෙඳපොළ තත්වය ගැන පැවසිය හැක්කේ කුමක්ද ?
2025/26 වසරේදී අප සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය සියයට 61කින් ඉහළ ගොස් රුපියල් බිලියන 94.4ක් දක්වා වර්ධනය වුණා. ශුද්ධ වත්කම්ද සියයට 22කින් වැඩි වී රුපියල් බිලියන 9.3ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ අතර සමාගමේ මුළු ණය කළඹ සියයට 70කින් වර්ධනය වී රුපියල් බිලියන 76.3ක් දක්වා ඉහළ ගොස් තිබීම අපගේ වෙළෙඳපොළ ආකර්ෂණය සහ පාරිභෝගික සම්බන්ධතාව තවත් ශක්තිමත් වී ඇති බව පෙන්වන ප්‍රබල සාධකයක් බව මගේ හැඟීමයි.
විශේෂයෙන් ලීසිං සේවා කළඹ සියයට 98කින් වර්ධනය වී රුපියල් බිලියන 51ක් දක්වා ඉහළ යාම ඉතා වැදගත්.
තවද රන් ණය කළඹ සියයට 80කින් හෙවත්, රුපියල් බිලියන 16ක් දක්වා වර්ධනය වීමත් පාරිභෝගික අවශ්‍යතාවල වෙනස්වීම අපි නිවැරදිව හඳුනාගෙන ඇති බව පෙන්නුම් කරනවා. අද පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ වේගවත්, විශ්වාසනීය, පහසු සහ ප්‍රායෝගික මූල්‍ය විසඳුම්. HNB Finance PLC ඒ අවශ්‍යතාවට අනුව තම සේවා ආකෘතිය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබෙනවා.
වත්කම් මත හිමිවන ප්‍රතිලාභ අනුපාතය (ROA) සහ කොටස් හිමිකම් මත ලැබෙන ප්‍රතිලාභ (ROE) වැනි මූල්‍ය කාර්යසාධන දර්ශක මගින් HNB Finance PLC සිය කොටස් හිමියන්ට ලබා දෙන පණිවිඩය කුමක්ද?
ලාබය ඉහළ යාම පමණක් නොව, එම ලාබය උපයා ගන්නා ආකාරයත් ඉතා වැදගත්. 2025/26 මූල්‍ය වර්ෂයේදී HNB Finance PLC හි වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය, (ROA), සියයට 1.37 සිට සියයට 2.2 දක්වා ඉහළ ගියා. එමෙන්ම කොටස් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය, (ROE), සියයට 11.54 සිට සියයට 19.96 දක්වා ශක්තිමත් වුණා. මෙය අපගේ වත්කම් වඩා කාර්යක්ෂමව භාවිත කරමින් ලාබදායීතාව වැඩි කරගැනීමට හැකි වී ඇති බව පෙන්වන ප්‍රශස්ත දර්ශකයක්.
පසුගිය වසර තුළHNB Finance PLC වර්ධනය වූ ආකාරයත් එම වර්ධනයට දායකවූ ප්‍රධාන ශක්තීන් මොනවාද යන්න ඔබ හඳුනාගන්නේ කොහොමද?
සමාගම ආරම්භයේදී ග්‍රාමීන් සංකල්පය මත පදනම් වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය (Microfinance) මූලික කරගත් මූල්‍ය ආයතනයක් ලෙස අපි HNB Finance PLC වෙළෙඳපොළ පදනම ගොඩනගා ගත්තා. එහෙත් අද වන විට බැංකු නොවන මූල්‍ය සමාගම් ක්ෂේත්‍රය විසින් පිරිනමනු ලබන සියලුම මූල්‍ය සේවා ලබා දීම දක්වා HNB Finance සමාගම වර්ධනය වී ඇති අතර මෙම සේවා දීපව්‍යාප්තව ලබා දීම සඳහා දිවයින පුරා ශාඛා 76ක ජාලයක් සහ 2,000කට ආසන්න සේවක මඩුල්ලක් කැපවී සිටිනවා. එමෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය සේවා පිළිබඳව විශේෂඥතාවක් පැවතියත් අපි ක්‍රමෝපායිකව ලීසිං, රන් ණය, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් වැනි අංශ වෙත වැඩි අවධානයක් යොමු කළා.
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීම බැංකු නොවන මූල්‍ය සමාගම්වලට බලපා ඇත්තේ කෙසේද?
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ යාම බැංකු නොවන මූල්‍ය සමාගම් (NBFI) ක්ෂේත්‍රයට සෘජු හා වක්‍ර යන දෙආකාරයටම බලපෑම් ඇති කරනවා. පළමුව, අරමුදල් රැස් කිරීමේ පිරිවැය (Funding Cost) ඉහළ යා හැකියි. බැංකු සහ මූල්‍ය ආයතන සිය තැන්පතු හා ණය පිරිවැය නැවත සකස් කරන විට, බැංකු නොවන මූල්‍ය ආයතනවල අරමුදල් රැස් කිරීමේ පිරිවැය ඉහළ යාම සිදු විය හැකි තත්වයක්. එමෙන්ම පාරිභෝගික ණය ඉල්ලුමට මෙහිදී යම් බලපෑමක් ඇති විය හැකියි. වාහන ලීසිං, පුද්ගල ණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය වැනි ක්ෂේත්‍රවල පාරිභෝගිකයන්ට මාසික වාරික පිරිවැය වැඩි වී දැනෙනවා.
මෙවැනි පොලී අනුපාත ඉහළ යා හැකි පරිසරයක් තුළ HNB Finance වැනි ආයතනයක් තම වර්ධනය සහ අවදානම් කළමනාකරණය අතර සමබරතාව පවත්වාගන්නේ කෙසේද?
පොලී අනුපාත ඉහළ යන ප්‍රවණතාවකදී වැදගත්ම කරුණ වන්නේ පාලනයක් සහිතව හා වගකීම් සහගත ලෙස වර්ධනය කළමනාකරණය කිරීමයි. අපි ණය ලබාදීමේදී පාරිභෝගිකයාගේ ආපසු ගෙවීමේ හැකියාව, ආදායම් ප්‍රවාහය, වත්කම් ආරක්ෂාව සහ ආර්ථික පීඩනය වැනි කරුණු ඉතා සමීපව අධ්‍යයනය කරනවා.
අපගේ ප්‍රවේශය වන්නේ වෙළෙඳපොළ කොටස පසුපස පමණක් හඹා යෑම නොව, තිරසාර ලෙස ණය කළඹ ගොඩනංවා ගැනීමයි. ඒ සඳහා ණය ලබා ගන්නා පාරිභෝගිකයාගේ අවදානම් මට්ටම හඳුනා ගනිමින් පොලිය අය කිරීම (Risk-Based Pricing), ණය ලබා ගන්නා පුද්ගලයාගේ ආපසු ගෙවීමේ හැකියාව, ආදායම දැඩිව පරීක්ෂා කිරීම , ණය අයකර ගැනීම වේගවත් කිරීම, ද්‍රවශීලතා හැකියාව කළමනාකරණය කිරීම සහ පාරිභෝගිකයාගේ මූල්‍ය සාක්ෂරතාව යන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා.
බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ තිරසාරත්වය රඳා පවතින්නේ වර්ධනය, අවදානම් කළමනාකරණය පාරිභෝගික ආරක්ෂාව සමබර කිරීමෙන්