IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බැංකු නොවන ණය දෙන ආයතන නියාමන පනත් කෙටුම්පතක් ඉක්මනින් පාර්ලිමේන්තුවට

  • ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම පමණක් නොව 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අවලංගු කිරීමට ද අපේක්ෂා කෙරේ
  • පිහිටුවීමට අපේක්ෂා කරන ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියට එහි වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක්
  • අමතරව බාහිර මූලාශ්‍රවලින් පරිත්‍යාග සහ ප්‍රදාන පිළිගැනීමේ බලතල ලබාදී තිබෙන බවත් පැවැසෙයි

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීම පනත් කෙටුම්පතක් ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත් කෙටුම්පතට අනුකූල නොවන බැංකු නොවන ණය දෙන ආයතනවලට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 50 කට නොවැඩි දඩයකට හෝ වසර පහකට නොවැඩි සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට සිදුවේ.

යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලබනු ඇත. 

යෝජිත පනත් කෙටුම්පත මගින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම පමණක් නොව, 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අවලංගු කිරීමට ද අපේක්ෂා කෙරේ.

පනත් කෙටුම්පත මගින් පිහිටුවීමට අපේක්ෂා කරන ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියට එහි වියදම් පියවා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් ලැබෙන රුපියල් මිලියන 100 ක ප්‍රදානයට අමතරව බාහිර මූලාශ්‍රවලින් පරිත්‍යාග සහ ප්‍රදාන පිළිගැනීමේ බලතල ලබාදී තිබෙන බව පැවැසෙයි. 

මෙම පනත් කෙටුම්පත පැමිණෙන්නේ ඇතැම් බැංකු නොවන ණය දෙන ආයතන මාසිකව සියයට 1.5 සිට වාර්ෂිකව සියයට 310 ක පොලී අනුපාතයක් සිය පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන බවට එල්ලවන චෝදනා මධ්‍යයේය. බලපත්‍රලාභී මූල්‍ය ආයතන නියාමනය කරන මහ බැංකුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය පවත්වා ගනිමින් යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරීය කටයුතු කිරීමට නියමිතය. 

යෝජිත නියාමන අධිකාරිය හත් දෙනකුගෙන් යුත් අධ්‍යක්ෂක මණ්ඩලයකින් සමන්විත වන අතර එයට භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම් සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ඇතුළත් වන බව පැවැසෙයි.



අදහස් (0)

බැංකු නොවන ණය දෙන ආයතන නියාමන පනත් කෙටුම්පතක් ඉක්මනින් පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site