
මුලින්ම ව්‍යාපාරය ආරම්භ කළේ පෞද්ගලික බැංකුවකින් ණයක් ගෙන හික්කඩුව නගරයේ කුඩා ස්ථානයක් මිලට ගැනීමෙන්
කැපවෙන්න පුළුවන් නම් අරමුණු කරා යාමට හැකියාව තිබේනම් ව්‍යාපාරවලින් ජීවිතය ජය ගන්න එක මහා අමාරු වැඩක් නම් නොවේ
සංචාරක ප්‍රවාහන සේවයෙන් ද ඔහු මෙරට සංචාරක ව්‍යාපාරයට කරන මෙහෙය සුළු නෑ
උපයන මුදලින් කොටසක් නැති බැරි දුකට පත් ජනතාව වෙනුවෙන් ප්රදානය කිරීමත් විශේෂත්වයක්
කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත සහ ගෝනාපිනුවල - දයා සිරිල් ධම්මික
මෙරට බොහෝ දැවැන්ත ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් වර්තමාන තත්වයට පත්වීමට ගත් උත්සාහය, උනන්දුව සහ කැපවීමේ තිරය පිටුපස ඇති කතාව එතරම් සුන්දර එකක් නම් නොවේ. ඔවුහු ඒ වෙනුවෙන් දිවා රෑ සිහින මැවූහ. ඒ සිහින ඔස්සේ යමින් ඒවා ජය ගැනීමට වෙලාවක්, අවේලාවක් නොමැතිව එක දිගට වැඩ කළහ. හරියට කුසට ආහාරයක් නෙතට නින්දක් නොමැතිව ඔවුහු ඒ වෙනුවෙන් ඇති තරම්ම කැපවූහ. මේවා පිළිබඳව දන්නේ ඉතාම සීමිත පිරිසක් පමණි. ඇතැම්විට ඒ පිළිබඳව දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. කවුරුන් ඔවුනගේ යටගියාව දනිතත් නොදනිතත් අද ඔවුහු දැවැන්ත ව්‍යාපාරිකයෝ වී සිටිති.
අප ඔවුන් පිළිබඳව පාඨක ඔබ හමුවේ තබනුයේ ව්‍යාපාර ක්ෂේත්රයෙන් දැවැන්තයන් වීමට අපේක්ෂාවෙන් සිටින අයට එයින් ලැබෙන පන්නරය, අත්වැල පිළිබඳව සිතාය.
අද අප ඔබ හමුවේ තබනුයේද කුඩාම තැනකින් සිය ව්‍යාපාරය අරඹා මේ වනවිට දැවැන්ත ව්‍යාපාරිකයෙකු වී ඉන් ඔබ්බට ගොස් ව්‍යවසායකයෙකු වී ඇති කෙනෙකු පිළිබඳවය.
ඔහු තුසිත තිලංක ය. පදිංචිය හික්කඩුවේය. තුසිත තිලංක ව්‍යාපාරික ක්ෂේත්රයේ ගමන් ආරම්භ කරන්නේ අමුතුම ආකාරයටය. එයින් ජය ලබාගන්නේද අමුතුම ආකාරයටය. මේ සියලු කාර්යයන්ගෙන්ම ජීවිතය ජයගත් තුසිත තිලංකට අද හික්කඩුව නගර මධ්‍යයේ දැවැන්ත හෝටල් දෙකක් තිබේ. විදෙස් මුදල් මාරු කරන මධ්‍යස්ථානයක්ද හික්කඩුව නගර මධ්‍යයේම ඇත. විදෙස් සංචාරක ප්‍රවාහන සේවයක්ද මේ අතරය. තුසිත තිලංකට මේවා ලැබුණේ බන්දේසියක තබා කවුරුන් හෝ ගෙනවිත් දීමකින් නම් නොවේ. ස්වඋත්සාහයෙන් ඒවා තමන් සතු කර ගැනීමට තුසිත තිලංක ගත් අවංක උත්සාහය නිසාවෙනි. ඊට කළ සාධාරණ කැපවීම මතය. මේ ඒ තුසිත තිලංකගේ කතාවය.

තුසිතගේ පියා රාජකාරි කළේ අධිකරණයේය. සැලකිය යුතු තනතුරකය. ඒ නිසාමදෝ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි තුසිත, පියාට අවශ්‍ය වූවේ නීතිඥයකු කිරීමටය. ඒ වෙනුවෙන් පියා තුසිත මෙහෙයවූවේය. පියාගේ ඒ අරමුණ ඉටුකිරීමට තුසිත කැපවන්නේ පියාගේ සිත රිදවීමට ඇති අකැමැත්ත නිසාය. පියාට ඔහු තුළ තිබූ අපරිමිත ගෞරවය නිසාවෙනි. ඒ අනුව තුසිත නීතිය හැදෑරීමට පටන් ගත්තේය. ඒ අතරතුර විදේශ ගත වන්නේය. යළි මෙරටට පැමිණි තුසිත පෞද්ගලික ආයතන දෙක තුනකම රැකියාව කරන්නේය. මේ තමා සොයන දේ නොවන බව තුසිතට එම රැකියා කරන අතරතුට සිය චිත්ත සන්තානයට පැමිණියේ වරක් දෙවරක් නොවේ. ඔහු කුඩා කල සිටම ප්‍රාර්ථනා කළේ තමාම බොස් වී කරන රැකියාවක් පිළිබඳවය. කවුරුන් හෝ යටතේ සේවය කිරීමට ඔහු අකැමැති වූවේය. ඒ අනුව තුසිත තමා කළ රැකියාවලට ආයුබෝවන් කීවේ තමාගේම දෙයක් ආරම්භ කිරීමටය. ඒ ඔස්සේ කල්පනා කරමින් සිටින තුසිතට ඒ සඳහා රුකුලක් වූවේ ඒ වනවිට හික්කඩුව නගරයේ සංචාරය ව්‍යාපාරය පිබිදෙමින් තිබීමය.
හික්කඩුවට විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය දෑ අලෙවි කිරීමේ ස්ථානයක් පටන් ගත්තොත් හොඳ යැයි තුසිත සිතුවේය. ඒ ගැන සිතුවා පමණක් නොව පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ගෙන හික්කඩුව නගරයේ කුඩා ස්ථානයක් ඔහු මිලදී ගත්තේය. සුබ නැකතට මේ කුඩා ස්ථානයේ විදෙස් සංචාරකයන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය දේ අලෙවියට විවෘත කළේය. විදෙස් සංචාරකයන්ගේ මනසට කාවදින අයුරින් තුසිත ඉංග්‍රීසි භාෂාව ඇතුළුව අනෙක් භාෂා හැසිරවූයේ තමන්ගේ අලෙවිසලට පැමිණෙන සංචාරකයාට හිස් අතින් නොගොස් සිය අලෙවිසලෙන් භාණ්ඩයක් මිලදී ගෙන යන ආකාරයටය. කාලය කෙමෙන් කෙමින් ගෙවී යමින් තිබිණ. තුසිතගේ මේ කුඩා අලෙවිසල විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වූ ස්ථානයක් වුයේය. සංචාරකයෝ නිරන්තරයෙන්ම පැමිණියහ. ආදායම ඉහළ ගියේය. අතට ලැබෙන මුදලේ හැටියට තමාගේ කුඩා අලෙවිසල පිහිටි භූමියේ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් හෝටලයක් ඉදිකිරීම ආරම්භ කළේය. ඒ අදියර කිහිපයකින් වැඩ නිමවන පරිදිය. ඒ හෝටලයේ වැඩ නිමවීමට වසර කිහිපයක්ම ගෙවා දැමීමට තුසිතට සිදුවූවේය. සිව් මහලින් හෙබි අංගසම්පූර්ණ එම හෝටලය අද එමරල්ඩ් රිසෝට් (EMERALD RESORT) නමින් හික්කඩුව නගර මධ්‍යයේ විරාජමානව සිටිනුයේ හික්කඩුවේ අනෙක් හෝටල්වලට නොදෙවැනි ආකාරයටය.
හික්කඩුව නගර මධ්‍යයේ තුසිතගේ අනෙක් දෙවැනි අංගසම්පූර්ණ හෝටලයේ ඉදිවීමේ කතාවද එමරල්ඩ් රිසෝට් හෝටලයේ ඉදිකිරීමේ කතාවටම අනුගතය. එයත් විවෘත කෙරුණේ එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වසර කිහිපයකට පසුවය. හික්කඩුව වෙරළ ආසන්නයේ ඇති මේ අංගසම්පූර්ණ හෝටලය සපායිස්සීස් (Saophice Seas) නමින් හික්කඩුව නගර මධ්‍යයේ දක්නට ලැබේ.
තුසිත මුලින් ආරම්භ කරන එමරල්ඩ් රිසෝට් හෝටලයේ පහළ මාලයේ එක් කොටසක් භාවිත කරමින් ඔහු විසින් ආරම්භ කර ඇති දෙස් විදෙස් මුදල් මාරු කිරීමේ මධ්‍යස්ථානයද අද දෙස් විදෙස් සංචාරකයන් අතර කාර්යබහුල මධ්‍යස්ථානයක් වී තිබෙන්නේය.
තුසිත ආරම්භ කර ඇති සංචාරක ප්‍රවාහන සේවයෙන් ද ඔහු මෙරට සංචාරක ව්‍යාපාරයට කරන මෙහෙය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.
සිය ව්‍යාපාරවලින් ලැබෙන ආදායමෙන් තමා පමණක් වැජඹීමට තුසිත කිසිවිටෙකවත් ක්‍රියා නොකළේය. ඔහු එම මුදලින් කොටසක් නැති බැරි දුකට පත් ජනතාව වෙනුවෙන් ප්රදානය කරන්නේ අඩුම තරමින් ස්තූතියවත් බලාගෙන නම් නොවේ.
මේ තුසිත තිලංක සිය ව්‍යාපාර දිරියෙන් ගොඩනගාගෙන ජීවිතය ජයගත් අයුරු හා සිය ව්‍යාපාරවලින් ලැබෙන ආදායමෙන් කරනු ලබන සමාජ සේවය පිළිබඳව අප සමග දොඩමලු වූ අයුරුය.
“ඇත්තටම අපේ ව්‍යාපාර ජීවිත අත්දැකීම්වලට තැනක් ලබාදෙන ලංකාදීප පුවත්පතට මම පළමුව ස්තූතිවන්ත වෙනවා. හික්කඩුව නගරයේ සංචාරක ව්‍යාපාරයට බද්ධව මවිසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර මම ගොඩනගා ගත්තේ බොහෝම අමාරුවෙන්. දැඩි කැපවීමකින්. අපිට සිත ඇත්නම් කැපවෙන්න පුළුවන් නම් අරමුණු කරා යාමට හැකියාව තිබේ නම් ව්‍යාපාරවලින් ජීවිතය ජය ගන්න එක මහා අමාරු වැඩක් නම් නොවේ. මම ජීවිතය ජය ගත්තේ එහෙමයි. මම ව්‍යාපාරවලින් ජීවිතය ගොඩගෙන මම විතරක් රජ වෙන්න උත්සාහ ගත්තේ නැහැ. අපි අතර ඉන්න අහිංසක මිනිසුන් වෙනුවෙනුත් මට ලැබුණු ආදායමෙන් කොටසක් වෙන් කළා. මේ වනවිට එම මුදල්වලින් කිව නොහැකි තරම් සමාජ සේවයක් කරලා තියෙනවා. හික්කඩුවේ හා ඒ අවට දුකට පත්වන ජනතාව වෙනුවෙන් මම නිර්ලෝභීව අතහිත දෙනවා. මේ සද්කාර්යයන් සඳහා මම මුදල් වියපැහැදම් කරන්නේ කාගෙන්වත් ලොකුකමක් ගන්නවත් නෙමෙයි. අඩුම තරමින් මට ඒ වෙනුවෙන් ස්තූතියවත් එපා. මගේ විනෝදාංශය තමයි සමාජ සේවය කිරීම. ඒ තුළින් මගේ වැඩ පාඩුවෙන වෙලාවල් අනන්තයි, අප්‍රමාණයි. ඒ ගැන මම කිසිවිටකවත් තැවෙන්නේ නැහැ.”

බැංකු ණය ගෙන සුද්දන්ට බඩු අලෙවි කර හෝටල් දෙකක හිමිකරුවූ තුසිත