මුළු වත්කම් අතරින් සියයට 75ක් පවතින්නේ බැංකු 06ක් සතුව
ඉතිරි සියයට 25 සඳහා බැංකු 24ක් අතර තරගයක්
ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ වත්මන් ව්‍යුහය බෙහෙවින් බෙදුණු ස්වභාවයක් ගන්නා බවත්, එය බැංකු අංශය වෙත හානියක් බවත් මහ බැංකුව පවසයි. ඒ අනුව කුඩා බැංකු ඒකාබද්ධ කර බැංකු අංශය සතු එම ස්වභාවය මඟහැරවීම සඳහා ඉදිරියටත් කටයුතු කරන බව මහ බැංකුව අවධාරණය කර සිටියි.
විශේෂයෙන්ම අද වනවිට මෙරට ක්‍රියාත්මක විශාල බැංකු 06 මගින් බැංකු අංශයේ මුළු වත්කම්වලින් ආසන්න වශයෙන් සියයට 75ක් නියෝජනය කරන බවත්, ඉතිරි බැංකු 24 මගින් ඉතිරි සියයට 25ක වෙළෙඳපොළ කොටස සඳහා තරග කරන බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
“බැංකු අංශයේ මෙම බෙදුණු ස්වභාවය මෙහෙයුම් අකාර්යක්ෂමතා, සම්පත්වල සීමිත බව, තොරතුරු තාක්ෂණ පද්ධතිවල අඩුපාඩු සහ ප්‍රමාණවත් නොවන වෙළෙඳපොළ කොටස වැනි සාධක නිසා මූල්‍ය පාරිභෝගික අවශ්‍යතා ඵලදායි ලෙස සපුරාලීමට සහ පුළුල් ආර්ථික වර්ධනයට දායකවීමට බලපත්‍රලාභී බැංකු වෙත ඇති හැකියාව සීමා කරයි.”
ඒ අනුව බලපත්‍රලාභී බැංකු සඳහා බැංකු අංශය ඒකාබද්ධ කිරීම සඳහා වන රාමුවක් වෙත මහ බැංකුව විසින් 2025 ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලබාදී තිබේ. එහි අවස්ථාවක් ලෙස බැංකු අංශය ඒකාබද්ධ කිරීම සඳහා වන රාමුවක් 2026 ජනවාරි 23 දින බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කෙරී තිබේ.
මේ හරහා විශාල හා ශක්තිමත් බැංකු විසින් කුඩා පරිමාණ දේශීය බලපත්‍රලාභී බැංකු අවශෝෂණය කරගැනීමට පහසුකම් සැපයෙනු ඇතැයි පවස මහ බැංකුව, කෙසේ වෙතත් විශාල බැංකු දෙකක් හෝ වැඩි ගණනක් ඒකාබද්ධ කිරීම හරහා විශාල බැංකු තවදුරටත් පුළුල් කිරීම දිරිමත් නොකරන බවත් සඳහන් කරයි.
බැංකු අංශයේ බෙදුණු ස්වභාවය හානියක් - මහ බැංකුව