IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


පළමු මාස හයේදී ලංකාව ආනයනය කළ වාහනවල වටිනාකම ජපන් යෙන් බි.47ක්

එය මෙම වසරේ පළමු අර්ධයේදී ජපානය අපනයනය කළ සියලු‍ම පාවිච්චි කළ මගී ප්‍රවාහන වාහනවලින් සියයට 6 ක් 
ජ‌ූනි මාසයේදී පමණක් ජපාන යෙන් බිලියන 16 ක මගී ප්‍රවාහන වාහන ජපානයෙන් ආනයනය කරලා
මෙරට වාහන ආනයන සීමා පැනවීමට පෙර 2019 වසරේදී ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කළ වාහනවල වටිනාකම යෙන් බිලියන 30.9ක්
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව භාවිත කළ ජපාන වාහනවලට විශාල ඉල්ලු‍මක්
වත්මන් ප්‍රවණතාව අනුව 2018 වසරේ ආනයනය කළ වාහන ප්‍රමාණයට වඩා වැඩි වාහන සංඛ්‍යාවක් මෙම වසරේදී ශ්‍රී ලංකාව ආනයනය කරන තත්වයක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 6 තුළදී ශ්‍රී ලංකාව, ජපාන යෙන් බිලියන 46.9 වටිනාකමින් යුත් වාහන සංඛ්‍යාවක් ආනයනය කර ඇති බවත් එය මෙම වසරේ පළමු අර්ධයේදී ජපානය අපනයනය කළ සියලු‍ම පාවිච්චි කළ මගී ප්‍රවාහන වාහනවලින් සියයට 6 ක ප්‍රතිශතයක් බවත් ජපාන මුදල් අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.
මාස 6ක් තුළ දෙවැනි ස්ථානයට ආනයනය කළ වැඩිම මගී ප්‍රවාහන වාහන සංඛ්‍යාව මෙම වසරේ පළමු මාස 6දී ශ්‍රී ලංකාව ආනයනය කර ඇතැයිද එම දත්ත වාර්තා අනාවරණය කළේය.
පසුගිය ජූනි මාසය තුළදී පමණක් ශ්‍රී ලංකාව ජපාන යෙන් බිලියන 16 ක මගී ප්‍රවාහන වාහන ජපානයෙන් ආනයනය කර ඇතැයිද එම දත්ත වාර්තාවල සඳහන් වේ.
වසර 5 කට පසු පසුගිය පෙබරවාරි මස 1 වැනිදා වාහන ආනයන සීමා ශ්‍රී ලංකාව ඉවත් කිරීමෙන් පසුව භාවිත කළ ජපාන වාහන සඳහා විශාල ඉල්ලු‍මක් ලැබෙමින් පවතින බවද එම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ජපාන මුදල් අමාත්‍යංශයේ දත්ත වාර්තාවලට අනුව මෙරට වාහන ආනයන සීමා පැනවීමට පෙර 2019 වසරේදී ශ්‍රී ලංකාව ජපානයෙන් යෙන් බිලියන 30.9 වාහන ආනයනය කර ඇති අතර මෙම වසරේ වාහන ආනයන සීමා ඉවත්කර මාස 5ක් තුළ එම මුදල ඉක්මවා යමින් ජපානයෙන් මෙරටට වාහන ආනයනය කර තිබෙන බව ජපාන මුදල් අමාත්‍යාංශයේ දත්ත වාර්තා අනාවරණය කළේය.
ශ්‍රී ලංකාව මෙම වසරේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව ආනයනය කර තිබෙන වාහන ප්‍රමාණය දෙවැනි වන්නේ 2018 වසරේ පළමු මාස 6 තුළ ආනයනය කළ වාහන ප්‍රමාණයට පමණක් බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි. එම දත්ත වාර්තාවලට අනුව 2018 වසරේ පළමු මාස 6 තුළදී ශ්‍රී ලංකාව ජපාන යෙන් බිලියන 50.1 ක වටිනාකමින් යුත් වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබිණි.
ජපාන මුදල් අමාත්‍යාංශ දත්ත වාර්තාවල මෙම වසරේ පළමු මාස 6 තුළ ලෙස සඳහන් වුවත් ශ්‍රී ලංකාව වාහන ආනයන සීමා වසර 5 කට පසුව ඉවත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 1 වැනිදාය.
වත්මන් ප්‍රවණතාව අනුව 2018 වසරේ ආනයනය කළ වාහන ප්‍රමාණයට වඩා වැඩි වාහන සංඛ්‍යාවක් මෙම වසරේදී ශ්‍රී ලංකාව ආනයනය කිරීමට ඉඩ තිබෙන බව එම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
වසර තුනකට අඩු ජපානයේ පාවිච්චි කළ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලු‍මක් තිබෙන අතර එය හොඳ ආයෝජනයක් ලෙස ශ්‍රී ලාංකිකයෝ දකිති. ශ්‍රී ලංකාව ජපානයේ පාවිච්චි කළ වාහන සඳහා පාරදීසියක් ලෙසද හැඳින්වේ. 2015 සහ 2018 යන වසර දෙකෙහිම ජපානයෙන් පාවිච්චි කළ වාහන වැඩිම ප්‍රමාණය ආනයනය කර තිබුණේ ශ්‍රී ලංකාවය.
කෙසේ වෙතත් ජපානයේ පාවිච්චි කළ වාහනයක සාමාන්‍ය මිල වර්තමානය වන විට ජපාන යෙන් මිලියන 2.49 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2020 වසරේදී මිලියන දෙකක් විය.

 



අදහස් (0)

පළමු මාස හයේදී ලංකාව ආනයනය කළ වාහනවල වටිනාකම ජපන් යෙන් බි.47ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site