විමුක්ති එස්. රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 7 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.99 ක් බවත්, එය පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව සියයට 7.79 ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ඊයේ (25) ප්‍රකාශ කළේය.
අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව පසුගිය වසරේ පළමු මාස 7 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 9.27 ක් විය.
එසේම මෙම වසරේ ජූලි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 1.64 ක් වූ අතර, එය පසුගිය වසරේ ජූලි මාසයේ මෙරට අපනයන ආදායම වූ ඩොලර් බිලියන 1.45 ට සාපේක්ෂව සියයට 12.68 ක වර්ධනයක් වූවේය.
මෙම වසරේ පළමු මාස 7 තුළ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 7.79 ක් බවත්, එය පසුගිය වසරේ පළමු මාස 7 හි වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් බිලියන 7.27ට සාපේක්ෂව සියයට 7.22 ක් වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. එසේම මෙම වසරේ ජූලි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 1.30 ක් බවත්, එය පසුගිය වසරේ ජූලි මාසයේ ඩොලර් බිලියන 1.13 ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 15.37 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවේ සඳහන් විණි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වාර්තාවට අනුව වෙළෙඳ භාණ්ඩ අපනයන අංශයෙන් මෙම වසරේ පළමු මාස 7 තුළ වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදනවලින්ය. මෙම වසරේ පළමු මාස 7 තුළදී ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදනවලින් ශ්‍රී ලංකාව ඉපැයූ අපනයන ආදායම ඩොලර් බිලියන 3.07ක් වන අතර, එය පසුගිය වසරේ පළමු මාස 7 තුළ මෙරට ඉපැයූ ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදන අපනයන ආදායම වූ ඩොලර් බිලියන 2.84ට සාපේක්ෂව සියයට 8.18 ක වර්ධනයකි.
එම දත්ත වාර්තාවට අනුව මෙම වසරේ ජූලි මාසයේදී මෙරට ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 479.9 ක් වන අතර, එය පසුගිය වසරේ ජූලි මාසයේ ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදන අපනයන ආදායම වූ ඩොලර් මිලියන 443.7 ට සාපේක්ෂව සියයට 8.15 ක වර්ධනයක් විය.
කෙසේ නමුත් රබර් ආශ්‍රිත අපනයන ආදායම සහ දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම මෙම වසරේ පළමු මාස 7 තුළදී පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත. මෙම වසරේ පළමු මාස 7 තුළදී රබර් ආශ්‍රිත අපනයන ආදායම ඩොලර් මිලියන 552.36 ක් වූ අතර, එය පසුගිය වසරේ පළමු මාස 7 තුළ ඉපැයූ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 4.05 පහළ යාමකි.
එම දත්ත වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස හත තුළදී දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම ඩොලර් මිලියන 227.34 ක් වන අතර, එය පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව සියයට 7.3 ක පහළ යාමකි. මෙම වසරේ පළමු මාස 7 තුළ මෙරට සේවා අංශයේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.19 ක් වන අතර, එය පසුගිය වසරේ පළමු මාස 7 තුළ ඉපැයූ ඩොලර් බිලියන 1.99 ක සේවා අපනයන ආදායමට සාපේක්ෂව සියයට 9.86 ක වර්ධනයක් බව දත්ත වාර්තාවේ දැක්වේ.
එහිදී පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7 තුළදී ප්‍රවාහන සහ කාර්‌යෝය සේවා සියයට 21.24 කින් වර්ධනය වෙමින් ඩොලර් බිලියන 1.19 ක අපනයන ආදායමක් උපයා ඇති අතර, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා සියයට 7.23 කින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 897.49 ක අපනයන ආදායමක් උපයා තිබේ.
කෙසේ නමුත් සේවා අපනයන අංශයෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7 තුළදී මූල්‍ය හා ඉදිකිරීම් සේවා අංශයන්හි අපනයන ආදායම පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව අපනයන අංශයෙන් ලබාගෙන ඇති වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වන මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙරට අපනයන අංශයෙන් ලබාගෙන ඇති වර්ධනය ගෝලීය වෙළෙඳාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීමත්, වෙළෙඳපොළ අවස්ථා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයත්, පෙන්නුම් කරන බවයි.
වෙනස් වන ගෝලීය වෙළෙඳපොළට මෙරට අපනයනකරුවන් අනුවර්තනය වන අයුරුත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත්, ලබාගත් ප්‍රගතියෙන් නැවතත් පෙන්වා දී තිබෙන බව විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය ජූලි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.6 පසුකර යාමත්, මෙම වසරේ පළමු මාස 7 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 10 ට ළඟාවීමත්, ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතියක් බවත්, මෙරට අපනයනකරුවන්ගේ ශක්තිමත්භාවය ඉන් පිළිබිඹු වන බවත් ඔහු පැවැසුවේය.
පළමු මාස හතට ඩොලර් බි. 10ක අපනයන ආදායමක්