විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී මෙරට අයවැය හිඟය නාමික වශයෙන් රුපියල් බිලියන 455.8 දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව සියයට 57 ක අඩු වීමක් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
පසුගිය වසරේ පළමු මාස 10 අවසානයේදී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 1,060.7 ක් ලෙස සටහන් වූ බවත් මෙම වසරේ පළමු මාස 10 දී අයවැය හිඟය මෙලෙස සියයට 57 ක සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වීමට ප්‍රදාන ඇතුළු රජයේ සමස්ත ආදායම මෙම වසරේ පළමු මාස 10දී සියයට 33.2 කින් රුපියල් බිලියන 4,350.1 ක් දක්වා ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 4,350.1 ක් ලෙස සටහන් වන බවත් එහිදී පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව බදු ආදායම සියයට 34.4 කින් සහ බදු නොවන ආදායම සියයට 18.6 කින් වර්ධනය වී ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් වේ. පසුගිය වසරේ පළමු මාස 10 අවසානයේදී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,266.9 ක් ලෙස සටහන් විය. එසේම මෙම වසරේ පළමු මාස 10 අවසානයේදී රජයේ වියදම රුපියල් බිලියන 4,805.8ක් ලෙස සටහන් වන බවත් පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 11 ඉහළ යාමක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
පළමු මාස දහයේදී අයවැය හිඟය සියයට 57 කින් අඩුවෙලා