IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පහතරට තේ කර්මාන්තයේ අර්බුදය

  • එදා තේ දලු කිලෝවකට රුපියල් 220ක් ලැබුණත් දැන් එය රුපියල් 120 අවම මට්ටමකට පල්ලම් බහිමින් තියෙනවා.
  • පොහෝර මිල වැඩිවෙලා තේ දල්ලේ මිල අඩුවුණාම මේ කර්මාන්තය කරන්නේ කොහොමද?
  • තේ පොහොර සහනාධාරයක්දීම වැනි දේවල් ක්‍රියාත්මක කරනවානම් ලොකු සහනයක්.
  • රජය කඩිනමින්ම මැදිහත් නොවුණොත් තේ කර්මාන්තය එහෙම පිටින්ම කඩා වැටේවි.

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත

රටක් දියුණුවනුයේ එම රටේ හොඳ නිෂ්පාදිත ආර්ථිකයක් තිබීමෙනි. එය සියයට සියයක් නොවුණත් යම් ප්‍රශස්ත මට්ටමක තිබීම අනිවාර්යය. සරලව කීවොත් ආනයනයට වඩා අපනයනය ඉහළ අගයක් ගත යුතුමය. ඒ අතින් අප සිටිනුයේ ඉතාම පහළිනි. ඒ ගැන කරුණු කාරණා ලිවීම පසෙකට තබා අපේ රටේද අපනයනය කරන දෑ ගැන සොයා බැලීමනම් කාලෝචිතය. අපේ රටේ අපනයනය කරන දෑ ගොඩක් නැත. ඇත්තේ කිහිපයකි. කුරුඳු, තේ ඒ අතරය.

තේ අපනයනය කිරීමෙන් ලෝකයේ රටවල් අතරින් අපේ රටට හිමිව ඇති තැන ඉහළය. ඒ නිසාම අපේ රටේ තේ වලට හොඳ ඉල්ලු‍මක් තිබේ. මේ ඉහළ ඉල්ලු‍ම නිසාම අපනයනය කරන නිමි තේ කිලෝවකට ද හොඳ මිලක් ලැබුණි. ඒ සමගම නිමි තේ නිෂ්පාදනය කිරීමට ගන්නා තේ දල්ලේ මිලද ඉහළ යන්නේය. තේ දල්ලේ මිල ඉහළයාම සෘජුව හෝ වක්‍රාකාරව  බලපානුයේ දුක්ක දෝමනස්සයන් මැද තේ වතු පවත්වාගෙන යන තේ වතු හිමියන්ටය. මහා පරිමාණයෙන් මෙන්ම කුඩා තේවතු හිමියන්ටද එය එසේය.

තේ දල්ලේ මිල ඉහළ ගිය හොත් තේ වතු හිමියන්ට මෙන්ම ඒවායේ වැඩකරන තංගම්මලා, ලෙච්චමිලාගේද කරල පැහේ. යම් හෙයකින් තේ දල්ලේ මිල අඩුවුවහොත් ඔවුන් සියලු‍දෙනාටම බඩේ පහරකි. දකුණු ලකේ තේ වතු හිමියන්ට මෙන්ම තේ වතුවල වැඩකරන කම්කරුවන්ට අද අත්වී ඇත්තේ එම අසරණ ඉරණමය.

මේ වන විට අපේ රටේ තේ දලු‍ මිල ශීඝ්‍රයෙන් පල්ලම් බසිමින් තිබේ. එයට විසදුම් දීමට මේ වන තෙක්ම කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම කණගාටුදායකය.

ඉතා ඉහළ මිලකට ගොස් තිබූ තේ දල්ලේ මිල හදිසියේම පල්ලම බැසීමට ද හේතු නැත්තේද නොවේ. එයට හේතු කිහිපයකි. මේ හේතු එකක්වත් තේ වතු හිමියන්ට සහ ඒවායේ සේවය කරන වතු කම්කරුවන් නිසාම නිර්මාණය වූ ඒවානම් නොවේ. රටකරවන ඇත්තන්ගේ සහ අදාළ බලධාරීන්ගේ නිලධාරීන්ගේ උදාසීනත්වය, කම්මැලිකම, ඒ සඳහා අලු‍තින් යමක් නොකිරීම වැනි ක්‍රියා තේ දල්ලේ මිල පහත වැටීමට සෘජු හා වක්‍රාකාරයෙන් බලපා තිබේ. මෙහි අවසන් ප්‍රතිඵලය තේ වතු හිමියන් තේ වගාවෙන් ඉවත්වීමය. සිය දහස් ගණනක් වූ වතු කම්කරුවන්ට රැකියා අහිමිවී පාරට බැසීමට සිදුවීමය.

පහත රට කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති රුවන්ත කොඩිතුවක්කු මෙසේ කීවේය.

අපිට එදා තේ දලු‍ කිලෝවකට රුපියල් 220ක් ලැබුණා. දැන් එය රුපියල් 120 අවම මට්ටමකට පල්ලම් බහිමින් තියෙනවා. මෙලෙස තේ දල්ලේ මිල පහත වැටුණේ බොහෝම කාලයකින්. තේ දලු‍ මිල පහත වැටීමෙන් ගාලු‍ දිසාවේම වගේම දකුණු පළාතේම කුඩා තේ වතු හිමියන් දැඩි අසරණ තත්වයට පත්වෙලා. තේ දල්ලේ මිල පහත බැසීමෙන් තේ වතු හිමියන්ට තමන්ගේ තේ වතු පාලනය කර ගන්න බැරිවෙලා තියෙනවා. තේ වත්තක් නඩත්තු කරන්න විශාල මුදලක් යනවා. තේ දල්ලේ මිල අඩුවෙනවයි කියන්නේ තේ වතුවල නඩත්තු කටයුතුත් පල්ලම් බහිනවා. ඒවා නඩත්තු කරන සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරිවෙනවා. තේ දල්ලේ මිල අඩුවුණාට තේ වත්ත නඩත්තු කරන දේවල් වල මිල අඩු වෙන්නේ නැහැනේ. ඒ වගේම අනෙක් සේවා සහ අවශ්‍යතාවල මිල අඩු වෙන්නෙත් නැහැ.

තේ වත්තක දලු‍ නෙළන කම්කරුවන් කන්නේ බොන්නේ වගේම දුවා දරුවාට කන්න බොන්න දෙන්නේ උගන්වන්නේ තේ දල්ලේ පිහිටෙන් තමයි. තේ දලු‍ මිල පහත වැටීමත් සමගම මේ සියලු‍දේම ඇණ හිටිනවා. තේ දල්ලේ මිල එක එක කර්මාන්ත ශාලා අනුව වෙනස් වෙනවා. මෙහි ඇති භයානකකම මේ මිලත් එක්ක ගාල්ලේ කුඩා තේ වතු හිමියන්ට තේ වගාව එපාවීමයි.

පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ:-

ගාලු‍ දිසාවේ වගා අතර තේ වගාවට ද හොඳ තැනක් තිබුණා. තේ දලු‍ මිල බැස්මෙන් දැන් එම තැන අහිමිවේ​ගෙන යනවා. මේ නිසාම දැන් දැන් ගාලු‍ දිසාවේ කුඩා තේ වතු හිමියන් මේ දිනවල හොඳ මිලක් තිබෙන වගාවලට ඉව අල්ලමින් සිටිනවා.

මගේ අක්කර හතරේ ඉඩමේ තේ වගාවක් කිරීමට මීට මාසයකට උඩදී තේ පැළ සිටෙව්වා. ඒ සදහා විශාල වියදමක් ගියා. මේ සඳහා අවශය මූලික පිරිවැය සොයා ගත්තේ නෝනගේ රන් ආභරණ උකස් කරලයි. තේ දලු‍ මිල මේ යන විදිහට මට ඉදිරියේදී තවත් ණය වෙන්න වෙනවා. තේ ඉන්දලා මම දැන් ලොකු අමාරුවකයි වැටිලා ඉන්නේ. මට එයින් ගොඩවීමට තියෙන එකම විසඳුම තේ දල්ලේ මිල ඉහළ යාමයි. තේ දල්ලේ මිල බැසීමෙන් මම වගේම අමාරුවෙ වැටිලා ඉන්න අය ඕන තරම් අපේ පළාතේ ඉන්නවා. මම නම් කියන්නේ මේ පිළිබඳ රජය කඩිනමින්ම මැදිහත්විය යුතුයි කියලා. එහෙම නොවුණොත් අපේ තේ කර්මාන්තය එහෙම පිටින්ම කඩා වැටෙනවා.

පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න:-

තේ දලු‍ මිල ස්ථාවරව තබා ගැනීමට අනිවාර්යයෙන්ම රජය වහාම මැදිහත් විය යුතුයි. නව රජය බලයට පත්වුණේ කෘෂිකර්මාන්තය නංවා ඒ ක්ෂේත්‍රයේ සිටින අයගේ හෙට දිනය යහපත් කරන බවට පවසා ගොවි ජනතාවගේ සහයෝගයෙන්. එම නිසා මේ අවස්ථාවේදී පල්ලම් බහිමින් තිබෙන තේ දලු‍ මිල ස්ථාවර කිරීමට වැඩපිළිවෙළක් සකසන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 

මේ වේලාවේ කරන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිවයි තේ වගාකරුවන් ඉන්නේ. ඉරානය, ඊශායල් යුද්ධය නිසා තේ දල්ලේ මිල පහළ බැස්සා කියන එක හරි අසාධාරණයි. ඉරානය විතරද ලංකාවේ තේ පරිභෝජනය කරන්න කැමැති. ලෝකයේ ඕනෑතරම් රටවල් ඉන්නවා අපේ තේ වලට කැමැති. ඒ රටවල් හඳුන ගන්න ඕන. ඒවා අපිට කරන්න පුළුවන් වැඩනෙමෙයි. 

සිලෝන් ටී නාමය මුළු රටේම තව තවත් ප්‍රචාරය කළ යුතුයි. ඒ සඳහා අපේ තේ දෙන්න අලු‍ත් රටවල් සොයා ගත යුතුයි. කෝකටත් අපේ සිලෝන් තේ අලු‍ත් රටවල්වලට හඳුන්වාදීම අපේ ආර්ථිකයටත් ඉතාම සුබ කටයුත්තක් වේවී. මේ අවස්ථාවේදී රජයක් විදිහට තේ දල්ලේ මිල පහත වැටීම පිළිබඳ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අපිට හිතා ගන්නවත් බැරි දෙයක්. 

පහතරට වතු හිමියන්ගේ සංගමයේ සභාපති, නියාගම ප්‍රාදේශීය සභාමන්ත්‍රී කේ.පී.සරත් :-

තේ දල්ලේ මිල අඩුවීමත් එක්ක මොනව කරන්නද කියලා හිතා ගන්න බැරිවයි මේ දවස්වල ඉන්නේ. කම්කරු කුලිය ඉහළ ගිහිල්ලා. බෙහෙත් පොහොර මිල ඊටත් ඉහළයි. මේ ආණ්ඩුව ආවේ පොහොර මිටිය රුපියල් පන්දාහට දෙනවයි කියලා. දැන් පොහොර මිටියක මිල නවදහස් අටසියයක් වෙනවා. පොහොර මිල වැඩිවෙලා තේ දල්ලේ මිල අඩුවුණාම කොහොමද මේ කර්මාන්තය කරන්නේ.

වෙනදා තේ දලු‍ ගන්න වෙළෙන්දන් අපේ ළඟට එනවා. දැන් අපි ඒ අය ළඟට තේ දලු‍ ගෙනියන්න ඕන. එහෙම ගිහින් දීලත් අපේ තේ දල්ල ගන්නේ සොච්චම් මිලකට. තේ දල්ලේ මිල තව තවත් අඩුවුණොත් වෙන්නේ අපිට වහ කාලා මැරෙන්නයි. තේ පොහොර සහනාධාරයක්දීම වැනි දේවල් ක්‍රියාත්මක කරනවානම් ලොකු සහනයක්. නැත්නම් ඉතිං තේ වගාවට වෙනදේ කියන්න දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි.

චතුරංග අබේසිංහ:-

තේ දලු‍ නෙළන්න ගන්න මහන්සිය, දුක ගැන දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණයි. සේවකයන් දාලා කරන්න බැහැ. ඔවුන්ට දවසකට අත්තම් කුලිය ගෙවන්න විශාල වියදමක් යනවා. තේ දලු‍ ටික නෙළාගෙන තේ දලු‍ එකතු කිරීමේ මධ්‍යස්ථානයට ගෙන යන යතුරු පැදියට ගහන තෙල් ටිකත් දැන් ණයයි. දැන් නම් මේ කර්මාන්තය කරගෙන යන්නේ පාඩුවටයි.

පිටිගල ප්‍රදේශයේ තේ දලු‍ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා-ගෙන යන ජානක පෙරේරා මෙසේ කීවේය:-

මේ දිනවල තේ දලු‍වල මිල බැහැලා. ඉරාන, ඊශායල් යුද්ධය දරුණුවට පැවති කාලයේ තේ දලු‍ ගැනීමත් නතර වෙලයි තිබුණේ. දැන් ආයෙමත් තේ දලු‍ ගැනීම සිදු කරනවා. ඒත් මිල අඩුවෙන් තමයි ගන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ යුද්ධය නතර වෙලා මාස දෙකතුනක් යනවිට තේ මිල හරි යයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.



අදහස් (0)

පහතරට තේ කර්මාන්තයේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site