IMG-LOGO

2026 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා


පාසල් දරුවන්ට ජීවිත රක්ෂණය පිළිබඳ ජාතික රචනා තරගයක්

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ලොවපුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වන පදනම (ජපානය) සහ ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමය එක්ව, “පාසල් දරුවන් සඳහා වන ජීවිත රක්ෂණය පිළිබඳ ජාතික රචනා තරගය - 2026” පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව බව දැනුම් දෙයි.

“තරුණ සිත් පුබුදමු. හෙට දවස සුරක්ෂිත කරමු” යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ජීවිත රක්ෂණය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, අනාගත මූල්‍ය අවශ්‍යතා සඳහා සූදානම් වීමේ වැදගත්කම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමේ අගය ප්‍රවර්ධනය කරමින් පාසල් දරුවන් අත්‍යවශ්‍ය මූල්‍ය දැනුමින් සවි බලගැන්වීමයි.

ශ්‍රී ලංකාව පුරා පිහිටි රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම තරගය විවෘත වන අතර එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වේ.

වයස් කාණ්ඩ සහ සුදුසුකම්

මෙම රචනා තරගය වයස් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.

කනිෂ්ඨ අංශය (වයස අවුරුදු 13-16)

ළමයින් 2010 ජනවාරි 1 දින සහ 2013 දෙසැම්බර් 31 දින අතර උපත ලබා තිබිය යුතුය.

ජ්‍යෙෂ්ඨ අංශය (වයස අවුරුදු 17-19)

ළමයින් 2007 ජනවාරි 1 දින සහ 2009 දෙසැම්බර් 31 දින අතර උපත ලබා තිබිය යුතුය.

2026 සැප්තැම්බර් 30 දින දක්වා ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ඇත. ලියාපදිංචි වීමට පෙර ලියාපදිංචි වීමේ උපදෙස් සැලකිල්ලෙන් යුතුව කියවා බලන ලෙසත් තමන්ගේ පාසල පිළිබඳ තොරතුරු, මව්පියන් හෝ භාරකරුව සම්බන්ධ කරගත හැකි සබඳතා තොරතුරු සූදානම්ව තබා ගන්නා ලෙසත්, තරගයට ඉදිරිපත්වීමට කැමැති දිස්ත්‍රික්කය තෝරා ගෙන වලංගු ඊමේල් ලිපිනයක් සහ ජංගම දුරකථන අංකයක් ලබා දෙන ලෙසත් අයදුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.

මෙම රචනා තරඟය 2026 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි නියමිත විභාග මධ්‍යස්ථානවලදී අධීක්ෂණය කෙරෙන විභාගයක් ලෙස පැවැත්වේ. 

මූල්‍ය සැලසුම්කරණයේ ප්‍රධාන මෙවලමක් ලෙස ජීවිත රක්ෂණය, පවුලේ මූල්‍ය ආරක්ෂණය සැපයීම, මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම, අහිමි වූ ආදායම ප්‍රතිස්ථාපනය කිරීම, දීර්ඝකාලීන ඉතිරිකිරීම් සඳහා සහය වීම, අනාගත අවශ්‍යතා සැලසුම් කිරීම, මූල්‍ය අවදානම් කළමනාකරණය, ආර්ථික ස්ථාවරත්වයට දායක වීම, පවුල් සංස්ථාවේ යහපැවැත්ම ඉහළ නැංවීම සහ පුද්ගලයන්ට තමන්ගේ ජීවිත ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වීම යන ක්ෂේත්‍රවලට අදාළ ප්‍රධාන සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් තරඟය සඳහා සූදානම් වන ලෙස පාසල් දරුවන් දිරිමත් කරනු ලැබේ. 

ලියාපදිංචිය, තරග මාර්ගෝපදේශ සහ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන  www.ircsl.gov.lk වෙත හෝ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නිල සමාජ මාධ්‍ය නාලිකා වෙත පිවිසෙන්න.  



අදහස් (0)

පාසල් දරුවන්ට ජීවිත රක්ෂණය පිළිබඳ ජාතික රචනා තරගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site