අලෙවි කිරීමට ඇති පෝරණුවක ගඩොල්
සටහන හා ජායාරූප මොරගොල්ලාගම සිසිර කැලේගම
පස්වලින් සාර්ථකත්කවයක් කරා යා හැකි මැටි ආශ්‍රිත ගඩොල් කර්මාන්තයට අද වනවිට අත්ව ඇති ඉරණම කුමක්ද?
ඒ පිළිබඳව කරුණු සොයා ගිය ගමනේදී පොල්පිතිගම බල ප්‍රදේශයේ ගම් කීපයක ගඩොල් කර්මාන්තයේ නියැලී සිටින අය කිහිප දෙනකු පැවසූ අදහස් මෙසේය.
ඔහු වසර 17 ක් ගඩොල් කර්මාන්තයේ නියැලී සිටින අයෙකි. පොල්පිතිගම, කුඩා මඩගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින ආර්.එම්. ජයසුන්දර රාජපක්ෂ පැවසුවේ මෙවන් කතාවකි.
කුලියට කට්ටිය දාගෙන තමයි ගඩොල් කපන්නේ. ඉංජිනේරු ගලුත් කපනවා. මෝඩ ගලුත් කපනවා. මේ පෝරණුවේ ලොකු ගඩොල් 12,000 ක් විතර කුට්ටි කරලා පුච්චනවා. ගඩොල් කැටයක් රුපියල් 27 ක් 28 ක් වාගේ මුදලට විකුණනවා. වැඩ හොද නම්, ප්‍රමිතිය හොද නම් ගඩොල් ගන්න හතර දිග්බාගෙන් එනවා. ඉල්ලන ප්‍රමාණයට ගඩොල් දෙන්න බැරිකමයි අපිට තියෙන ප්‍රශ්නේ.
මිහිපිට පොළවේ තිබෙන පස්වලින් ගඩොල් කර්මාන්තය දවසින් දවස දියුණු කළ හැකියි. වැස්ස අව්ව ඒකට බාධාවක් වෙන්නේ නෑ. එහෙත් පස් ටිකක් කපා ගන්න දෙන්නේ නෑ. පොලීසිය පර්මිට් ඉල්ලනවා. වනජීවිය හා වන සංරක්ෂණ නිලධාරින් පැනලා අල්ලනවා. දරවලටත් ඒ ප්‍රශ්නය තිබෙනවා. අපි ජීවත් වෙන්නේ මේ රැකියාවෙන්. අඩු තරමේ අව්වේ කට්ට කාගෙන ගින්දරත් එක්ක පිච්චෙන අපේ ජීවිත දෙසට දුප්පතාගේ දුක හඳුනන ප්‍රදේශයේ දේශපාලකයන් පාර්ලිමේන්තුවේ ඉන්න හින්දා අඩු තරමේ ගඩොල් කර්මාන්තය සඳහාවත් පස් ටිකක් කපා ගන්න අවසර දෙනවා නම් අපිට ගොඩ යන්න පුළුවන්. අපිට සමෘද්ධි එපා. අස්වැස්ම එපා. අපි දෙපයින් නැගිටින්නම්. අපිට තිබෙන මේ ගැටලුවලට අඩු තරමේ සංවර්ධන කමිටු රැස්වීම් වලදීවත් කතා කරලා සාධාරණයක් කරනවා නම් පින් සිදු වෙනවා.
කිරිබමුණේගම යාය පදිංචි ආර්.එම්. තිලකරත්න කීවේ මෙවන් කතාවකි.
“මම අවුරුදු දහයක් තිස්සේ ගඩොල් කැපුවා. බැංකුවෙන් ලක්ෂ ගණන් ණය අරගෙන ගඩොල් තියන්න හට් ගැහුවා. එහෙත් ගමේ ඉන්න ග්‍රාම සේවකගේ ඉඳලා ප්‍රාදේශිය ලේකම් දක්වා වැඬේ කරන්න දෙන්නේ නෑ. කකුළෙන් අදිනවා. අපි ගඩොල් කපන්න හදනකොට ග්‍රාම සේවක කියනවා ඔප්පු නැතිව ගඩොල් කපන්න දෙන්න බෑලු. ගම්වල ඉන්න අය තම තමන්ගේ වතුවල තියෙන හුඹස් කපා ගන්න කියලා කියනවා. ඒවා කපන්නත් ග්‍රාම සේවක ඔප්පු ඉල්ලනවා. අපේ ඉඩම්වලට ඔප්පු නෑ. ඉතිං ඔප්පු නැති අපිට දෑතේ වීරියෙන් නැගිටින්න දෙන්නේම නෑ.
ගඩොල් කපන්නට මැටි පදම් කරන අයුරු
ප්‍රාදේශීය ලේකම් කියනවා ඒ සඳහා භූ විද්‍යා පතල් කර්මාන්තයට ගිහින් අවසර ගන්නලු. ඒකට ගිහින් අවසර අරන් අපි මැණික් හාරන්න නෙමෙයිනේ අපි හදන්නේ. අපි ගඩොල් කපන්න යි හදන්නේ. ටයි ගැට ගහන පුටුවල වැජඹෙන ලොක්කන්ට අපේ දුක තේරෙන්නේ නෑ. ඒ අතරේ වැඬේ කොහොම කොහොම හරි කරගෙන යනකොට පොලීසියෙන් පනිනවා. පස් ගෙනා දවසේ ඉදලා ගඩොල් කැටේ විකුණන කම් කුකුළා වී පැදුරට එනවා වාගේ දවසින් දවස එනවා. ඒ හින්දා ගඩොල් කැපිල්ල තිත්තම වුණා. අතහැරලා දැම්මා. හට් නිකම් දිරලා යනවා. ගත්තු ණය ගෙවා ගන්න බැරිව අන්ත අසරණවෙලා ජීවත් වෙනවා.
පොල්පිතිගම කුඹුකුළාව පදිංචිව සිටින ජේ.එම්. රත්නායක
මගේ වයස දැන් අවුරුදු 72 යි. ලී ඉරුවා. ගල් වළවල් වල වැඩ කෙරුවා. ගඩොල් කැපුවා. ඒ සියල්ල අතරේ අදටත් ගඩොල් කපනවා. වත්තේ තියෙන පස්වලින් වැඬේ කෙරුවාට පිටත තියෙන පස් ටිකක් කපා ගන්න බැකෝ යන්ත්‍රයකට කියන කොට ඒ අය කියන්නේ බෑ පොලීසියෙන් අල්ලනවා කියලලු. දෙගිඩියාවෙන් උත්තර දෙනකොට බැකෝ කාරයෙක් තියා ට්‍රැක්ටර් රියදුරෙක්වත් පස් ටිකක් කපා ගන්න ඇද ගන්න හොයා ගන්න බෑ. වැඬේට ආවත් වාහනයක් යන ශබ්දය ඇහෙයි කියලා ස්ටාර්ට් එක නවත්වනවා. වැලි ජාවාරම්කරුවන් කොහොම හරි වැලි ගොඩ දානවා. ගඩොල් කපන අපිට තමයි හැමදාම හෙණහුරා පාත් වෙන්නේ.
අයි.එම් ටිකිරි බණ්ඩා මෙසේ අදහස් දැක්වීය.
ගසක අත්තක් කපන්න චේන් ෂෝ කාරයකුට එන්න කියන කොට ඔවුන් ඉල්ලන ගණන් දිහා බලලා ගඩොල්වලින් නෙමෙයි මැණික් හෑරුවත් ගොඩ එන්න බෑ. ඒ හින්දා වත්තේ තියෙන ගස්වලට නැගලා පුළුවන් විදියට අවශ්‍ය දර ටික හොයා ගන්නවා. කජු වාගේ දර තියෙනවා නම් පිච්චෙන ගඩොලයේ පාටයි ශක්තියයි හොඳයි. එහෙත් ඉතිං කජු දර තියා මොන දරවත් ගේන්න බෑනේ. පොලීසියයි, වනජීවියයි අල්ලනවා නේ. අවසානයේ ඇල්ලුවොත් අපි පොලීසියේ. නඩුව ඉවරවෙන කම් වාහනයත් තියා ගන්නවා. දඩයත් ඔලුව උස්සන බැරි විදියට වදින කොට ගඩොල් කැටයක් රුපියල් විසි පහකට තිහකට විකුණලා ඒ දඩ ගෙවන්නවත් මුදල් හොයන්න බැරි වෙයි. ඒ හින්දා මහ පොළවෙන් නිකම් ලැබෙන පස් ටික කපා ගන්න අවසර දුන්නා නම් අතීතයේ ඉදන් පැවත එන ගඩොල් කර්මාන්තය රැකෙයි.
පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ඒකනායක
ඇත්තටම ප්‍රදේශයේ ගඩොල් ව්‍යාපාරිකයන්ගේ සේවාව අපි අගය කළ යුතුයි. ඒවා නීති රීති හමුවේ වළ පල්ලට යන්න දෙන්න බෑ. මේ ව්‍යාපාරිකයෝ අපිට සම්පතක්. ග්‍රාම සේවක, ප්‍රාදේශීය ලේකම්, වනජීවිය හා පොලීසිය එක්ව මේ ගැන සාකච්ජා කරලා දිරියෙන් නැගී සිටින අපේ අයට සාධාරණයක් ලබා දීමට මම මැදිහත් වෙනවා.
පස් ගැටලුවෙන් අර්බුදයට යන ගඩොල් කර්මාන්තය