යොහාන් භාසුර
ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා මූල්‍ය සමාගමට එරෙහිව විසඳුම් ක්‍රියාමාර්ග ආරම්භ කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රෝද්‍රිගු මහතා මෙම මස 4 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා නේෂන් ලංකා මූල්‍ය සමාගමේ පරිපාලක ලෙස පත්කළ බවත් පරිපාලකවරයා එම සමාගමේ වත්කම්, අයිතිවාසිකම්, ව්‍යාපාර සහ කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලනය භාර ගන්නා අතර සමාගම වෙනුවෙන් ඒවා කළමනාකරණය කරන බවත් මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකුව එම විසඳුම් ක්‍රියාමාර්ග මෙම මස 4 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ මෙම පියවර ගත් බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
නේෂන් ලංකා මූල්‍ය සමාගම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ සහ ඊට අදාළ නියෝග හා රීති අඛණ්ඩව උල්ලංඝනය කර ඇති බවට හෙළි වී ඇති බවත් ප්‍රමාණවත් නොවන ප්‍රාග්ධනය, දුර්වල වත්කම්, අඛණ්ඩ පාඩු සහ තැන්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවීමට අසමත් වීම හේතුවෙන් සමාගමේ මූල්‍ය තත්වය අසතුටුදායක බවට තීරණය කර ඇති බවත් මහ බැංකුව කියයි.
එම සමාගමට ගැටලු නිවැරදි කර නියාමනයන්ට අනුකූලවීම සඳහා මහ බැංකුව කිහිප වතාවක්ම අවස්ථාව දුන්නද, සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබෙන බවත් එහි මූල්‍ය සහ මූල්‍ය නොවන තත්වය පිළිබඳ පුළුල් ඇගයීමකින් පසුව විසඳුම් ක්‍රියාමාර්ග සමඟ ඉදිරියට යාමට තීරණය කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
නේෂන් ලංකා මූල්‍ය සමාගමට මහ බැංකුවෙන් පාලකයෙක්