
භානුක අමරසිංහ
මෙම වසරේ නොවැම්බර් මාසයේදී මෙරට සිදු කළ තේ අපනයනය කිලෝ මිලියන 19.36ක් (19,359,281ක්) ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙය 2024 නොවැම්බරයේදී අපනයනය කළ තේ කිලෝ මිලියන 20.07 (20,071,897) හා සැසඳීමේදී තේ කිලෝ 712,616ක අඩු වීමකි.
මෙහිදී තේ තොග, තේ පැකට්ටු සහ තේ බෑග් යන සියලුම ආකාරයේ අපනයන කාණ්ඩ පසුගිය වසරේ නොවැම්බර් හා සැසඳීමේදී කැපී පෙනෙන පහත වැටීමක් සටහන්ව තිබෙන බව Forbes & Walker ආයතනය පවසයි.
ඒ අනුව තේ තොග අපනයනය කිලෝ මිලියන 8.29ක සිට කිලෝ මිලියන 7.62ක් දක්වා කිලෝ 674,671ක අඩු වී තිබේ. එසේම තේ පැකට්ටු අපනයනය කිලෝ මිලියන 9.14 ක සිට කිලෝ මිලියන 9.06 ක් දක්වා කිලෝ 84,726 කින් අඩු වී තිබේ. මීට අමතරව තේ බෑග් අපනයනය කිලෝ මිලියන 2.14ක සිට කිලෝ මිලියන 2.12ක් දක්වා කිලෝ 19,613කින් අඩු වී තිබේ.
එහෙත් ක්ෂණික තේ කිලෝ 146,223 ක සිට 200,228ක් දක්වා කිලෝ 54,006 කින් සහ හරිත තේ කිලෝ 347,835ක සිට 360,224ක් දක්වා කිලෝ 12,389 කින් ඉහළ නැග තිබේ.
මේ අතර නැව්ගත කිරීමේ තේ කිලෝග්‍රෑමයක් සඳහා හිමි වුණු රුපියල් වටිනාකම නොවැම්බර් මාසයේදී ආසන්න වශයෙන් රුපියල් 1,768.82කි. එය 2024 වසරේ නොවැම්බර් මාසයේදී හිමි වූ රුපියල් 1,718.88 හා සැසඳීමේදී රුපියල් 49.94 ක ඉහළ යාමකි. එහෙත් ඩොලර් වටිනාකම අනුව එය 2024 නොවැම්බර් හා සැසඳීමේදී ඩොලර් 5.89ක සිට 5.77ක් දක්වා ඩොලර් 0.12ක අඩුවීමකි.
රුපියල් වටිනාකම් අනුව බැලූ විට තේ තොග, තේ පැකට්ටු සහ තේ බෑග් යටතේ තේ කිලෝවක් නැව් ගත කරන අවස්ථාවේදී වටිනාකම පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පිළිවෙළින් රුපියල් 30.62කින්, 24.82කින් සහ 83.13කින් ඉහළ ගොස් තිබේ. එහෙත් මෙය ඩොලර් වටිනාකම් අනුව ඩොලර් 0.13ක, 0.18 ක සහ 0.16ක අඩුවීමකි.
එසේම ක්ෂණික තේ කිලෝවක වටිනාකම රුපියල් 2,899.23ක සිට රුපියල් 3,942.26ක් දක්වා රුපියල් 730.36කින් වැඩි වී තිබේ. ඩොලර් වටිනාකම අනුව එය ඩොලර් 1.92 ක වැඩිවීමකි.
කෙසේ වෙතත් හරිත තේ කිලෝවක් රුපියල් වටිනාකම අනුව රුපියල් 4,149.44 ක සිට රුපියල් 3,942.26 ක් දක්වා රුපියල් 207.18 කින් මෙන්ම ඩොලර් වටිනාකම් අනුව ඩොලර් 14.21 ක සිට 12.87ක් දක්වා ඩොලර් 1.34 කින් පහත වැටී තිබේ.
නොවැම්බරයේදී තේ අපනයනය කිලෝ ලක්ෂ 7 කින් පහළට