IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නැගෙනහිර සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ට පුහුණු වැඩමුළුවක්

 


ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව


නැගෙනහිර පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර ධර්ම හා ආකල්ප ඉහළ නැංවීම සඳහා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා පළාත් සංචාරක කාර්යාංශය ආරම්භ කළ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන් පුහුණු කිරීමේ වැඩ මුළු මාලාවේ පළමු වැඩසටහන ත්‍රිකුණාමලයෙන් ආරම්භ කරනු ලැබීය.

දෙදිනක් පුරා පැවැති මෙම වැඩ මුළුව ත්‍රිකුණාමලයේ පිහිටි කළමනාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නාමල් තලංගම මහතා ද එක් විය.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසුවේ සංචාරකයන් සඳහා සුහදශීලී හා ආරක්ෂාකාරී සේවා ලබාදීමේ අරමුණෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන් පුහුණු කිරීම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා ආවරණය කරමින් ආරම්භ කර ඇති බවයි.

මෙම දෙදින වැඩ මුළුව අවසානයේ පුහුණුව ලබන ත්‍රිරෝද රථ රියැදුරන්ට සහතික පත්‍රයක් ලබාදෙන අතර ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ කිවූ.ආර්. කේතය යටතේ ඔවුන් ලියාපදිංචිය සිදුකරන බව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ (පරිපාලන) ප්‍රේමසිරි බස්නායක මහතා පැවසීය. මෙවැනි වැඩමුළු 11 පවත්වා නැගෙනහිර පළාතේ සංචාරක ත්‍රීරෝද රථ රියැදුරන් 1,100ක් පුහුණු කරන බවද අධ්‍යක්ෂවරයා කීය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් මුදල් හා ක්‍රම සම්පාදන, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් පයිසාල්, නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පී.ආර්.බී. කිත්සිරි නවරත්න පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ප්‍රියන්ත මලවැන්නගොඩ යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (0)

නැගෙනහිර සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ට පුහුණු වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site