
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
නැගෙනහිර පළාතේ ධීවර හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අරමුදල් සැපයීම සඳහා සොයාබැලීමේ නිරීක්ෂණයක නිරතවූ ලෝක බැංකුවේ දූත කණ්ඩායම ත්‍රිකුණාමලයේදී නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර සාකච්ඡාවක් ඉකුත්දා ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණි.
ලෝක බැංකුවේ RE-VIVE (Regional Empowerment through Vibrant, Inclusive and Viable Economies) ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ සංවර්ධන අවස්ථා පිළිබඳව මෙහිදී අවධානයට ලක්විය.
මෙහිදී ත්‍රිකුණාමලය,කෝඞ්බේ ධීවර වරාය සංවර්ධන කලාපය, මඩකලපුව, පාසිකුඩා සංචාරක සංවර්ධන කලාපය සහ අම්පාර, අරුගම්බේ සංචාරක සංවර්ධන කලාපය යන ප්රමුඛ සංවර්ධන ව්‍යාපෘති තුන පිළිබඳ සැලසුම් සමාලෝචනය කර ඉදිරි කටයුතු සඳහා එකඟතාවකට පැමිණියේය. ලෝක බැංකුවේ අරමුදල් සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සැලසුම් කර ඇති අතර, අවශ්‍ය අනුමැති හා ගිවිසුම් ක්‍රියාවලි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 2027 වසරේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මෙම සාකච්ඡාවට නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කේ. ගුණනාදන්, ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ප්‍රියන්ත මලවැන්නගොඩ යන මහත්වරු එක්වූහ.
නැගෙනහිර ධීවර-සංචාරක කටයුතු ප්‍රවර්ධනයට අරමුදල් සැපයීමට සොයාබැලේ