IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


නිකිණි ඉඩෝරයේ ආර්ථික අහේනිය

 

  • එළවළු ටිකක්වත් හදන්න වැව්වල වතුර ඉතුරු වෙන්නෑ
  • අලි කරදරේ වගාවලට තිබෙන ලොකුම ප්‍රශ්නයක්
  • රිළව්, වඳුරෝ, මොනරු, වල් ඌරෝ, ඉත්තෑවෝ ගොවිතැන් විනාශ කරනවා

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග  


වැස්ස අඩු නිකිණි මහේ වෙනම සමාජ, ආර්ථික සහ පාරිසරික ජීවන පෙවෙතකට හුරුවන්නට මායිම් ගම්මැදි ගැමියන්ට සිදුවේ. ඇසළ මහෙන් ඉනික්බිතිව උදාවනුයේ පෑවිල්ල උත්සන්න වන නිකිණි මහය. මේ පෑවිල්ලේ නුවර කලාවියේත් ඊට යාබද සත් කෝරලයේත් ගැමි ජීවන පෙවෙත දැඩි දුෂ්කරතාවට පත්වෙයි. පායන කාලයට වන මායිම් ගමක ජීවන පෙවෙත විවිධ දුෂ්කරතාවලින් පිරෙයි. වැව් සිඳී දිය උල්පත් අවහිර වෙත්ම ගැමියන්ගේ අතෝරක් අපේක්ෂා ගිනි අව්වේ පිච්චී යයි. 
වැස්සට වැවේ එකතු වන වතුරින් මහේ කුඹුරු කරතත් යලේ එවැනි යමක් කිරීමට තරම් වතුරක් වැවේ ඉතිරි වන්නේ නැත. ඇති වතුර ටික ස්නානය ආදී කටයුතු සඳහා ඉතිරි කළ යුතුය. මුවන්, ඌරන්, හාවන්, මීමින්නන්, ඉත්තෑවන් මෙන්ම වන අලි ද දිය සොයා මේ ගම්මැදි වැව් කරා ඇදෙන දසුන මෙසමයෙහි දුලභ නොවේ. 
ගිරිබාවේ එච්.එම්. සෝමාවතී මෙසේ කරුණු කීවාය. 
හැම යල් කන්නෙකම වගේ පෑවිල්ලත් එක්ක ගොවිතැන් මගඇරෙනවා. එළවළු ටිකක්වත් හදන්න වැවේ වතුර ඉතුරු වෙන්නෑ. අලි කරදරේ තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අමාරුවෙන් කරන ගොවිතැනේ අස්වැන්න බේරගන්ඩ පැල් උඩට වෙලා රෑ එලිවෙනකන් නිදිමරනවා. ඒත් පොඞ්ඩ බැරිවෙන කොට ඔක්කොම ඉවරයි. ඒ මදිවට රිළව්, වඳුරෝ, මොණරු, වල් ඌරෝ, ඉත්තෑවෝ ගොවිතැන් විනාශ කරනවා. එක ප්‍රශ්නයක් නෙමෙයි ගම්වල ජීවත් වෙන අපිට තියෙන්නේ. අලි රංචු පිටින් ගම්වදින්නේ මේ පෑවිල්ලේ සැරකමට. 
පෑවිල්ලේ බොන වතුර හිඟකම මේ ගම්මැදිවල ඇවිළෙන ලොකුම ගැටලු‍වකි. නියඟයේදී ජල අර්බුදය කොතෙක් ද යත් බීමට පමණක් නොව නෑමට, සනීපාරක්ෂක කටයුතු සහ අනෙකුත් ඉවුම් පිහුම් අවශ්‍යතා සඳහා ජලය සොයා ගැනීමට විවිධ විකල්ප සෙවීමට ගැමියන්ට සිදුවේ. වහින කාලයේ හොඳින් පිරී යන වැව් පායන කාලේ අඩියටම සිඳී යයි. ගමටම ඇති එකම නළ ළිඳ මෙකලෙහි හැමට පිහිටවෙයි. දියකාවුන්, කොකුන් ආදී නේක සතුන්ගේ ජීවිතවලටද වැවේ ඇති දිය කඳුල මෙකලෙහි මහා සැනසුමකි. 
ගැමියන්ට මෙන්ම සතුන්ටද මෙසමයෙහි කෑමෙහි බීමෙහි අඩුපාඩු බොහෝය. හැල්මේ ගෙවීයන මේ දින, සති, මාසවල මහේ ගෙට ගත් වී ටික පරිස්සම් කරගැනීම ගැමියන්ට ඇති ලොකුම අභියෝගයයි. කැලෑ කොළයක් සමග හෝ බත් කෑමට වී ටික ගෙයි තිබීම ඔවුනට මහත් අස්වැසිල්ලකි. 
මෙකල්හි බොහෝ විට ගසක ඵල සම්පතකට කියා ඇත්තේ සියඹලා, මුරුංගා, දිවුල් ගැට ආදිය පමණකි. කැලෑ රොදවල තවමත් ඉඩෝරයට එළබටු ඵල දරයි. කරපිංචා ඉඩෝරයට හසුවී මැළවී යන්නේ ඉතා කලාතුරකිනි. ඵළබටු ටිකකින් වේලක් පිරිමසා ගත හැකිය. සියඹලා, කරපිංචා, දිවුල් ආදිය කඩා පොළට ගෙනයෑමට හෝ ගමට හුරුවු වෙළෙන්ක්‍ෂෙකුට විකුණා කීයක් හෝ ඉපයීමට ගැමියෝ වෙහෙස වෙති. ටිකෙන් ටික ඉරි තලන වැව් තාවුල්ලේ කංකුන්, මුකුණුවැන්න ආදිය දලු‍ලා එයි. සමහර විට ඉතා රසවත් ව්‍යාංජනයක් ලෙස සැකසිය හැකි කුඩා සාරණ පඳුරු ද ඒ අතරය. තාවුල්ලේ ගොලු‍ගැසී හැදෙන තැල් කොළ ගැන ගමේ නොදන්නා කෙනෙක් නැතිතරම්ය. 
නුවර කලාවියේ, මැදවච්චිය, පුල්එළිය ගමේ විනීතා ඥානවතී මෙසේ කීවාය. 
හැමදේම කඩෙන් ගන්න පුරුද්දක් ගම්වල අපිට ඒ කාලේ තිබ්බේ නෑ. ඕන කරන දේවල් ටික ටික හරි ගං ගෙවල්වල හදාගත්තා. දැන් මොනව කරන්නත් හරි පිළිවෙළකට වැස්සක් වැටෙන් නෑනේ. ඉඩෝරෙට ඉස්සර කැලෑ මුකලන් වල හැදුන එළබටු, සියඹලා එහෙම තාම තියෙනවා. මොනතරම් දුකක් වුණත් අපි මේ ජීවිතේට හුරුවෙලා ඉන්නේ. කොහොම හරි තියෙන දේකින් දවස පිරිමහ ගන්නවා. 
කොස් වාරේ එකතු වන කොස් ඇට සමහර ගෙයි මුල්ලක ඉතුරුවේ. මේ කොයිදේත් මෙකලෙහි යන්තමින් දවස පිරිමැහීමට සෑහෙයි. සමහර දවසක අඳුරු වැහිවළා මතුවී යළි සැඟවී යයි. පෑවිල්ලට හසුවු අලි රංචු වැව් තාවුල්ලට වදිනුයේ වතුර පිපාසයෙනි. 
එක යායට පුරන්වී මුකලන් වැහුණු වෙල් ලියැදී උලාකන ගවයන්, එළුවන් මෙකල දුලබ නොවේ. ගිනි ගහන අව්වේ එළු, හරක් මේච්චලය ලෙහෙසි නොවේ. මේ තිරිසනුන් පසුපස වැටී ගිනිදන පොළොවේ වෙල් ලියැදි, බඩවැටි, මුකලන් මත දවස තිස්සේ ඇවිද යන්නට සමහර ගැමියකුට සිදුවේ. නිවසේ ඉතිරි වී ඇති වී, කුරක්කන් අස්වැන්න මෙකලෙහි ගැමියන්ගේ එදිනෙදා ආහාර සුරක්ෂිතතාවට හේතුවී තිබේ. මෙරට සාම්ප්‍රදායික ආහාර රටාවේ වැදගත් පරිඡ්චේදයක් අනාදිමත් කලක පටන් කුරහන් වෙත හිමිව තිබේ. 
මේ අයියනායක අඩවියේ නොපෙනෙන දෙවියන් මිසක අන් කිසිවකු ඔවුනගේ දුක දකින්නට මෙහි නොයෙන බව මේ ගැමියන්ගේ විස්වාශයයි. හවස් වන විට වැව් මංකඩවල් පිරීයයි. අලයක්, කොළයක් හොයන්නට වන වදින සියල්ලෝ මෙසේ පැමිණෙති. වියළි උඩු සුළඟ විටෙක පහළට එන්නේ ගුරු පාරේ දුවිලි අවුස්සමිනි.

 



අදහස් (0)

නිකිණි ඉඩෝරයේ ආර්ථික අහේනිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site