කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ රත්ගම ගාමිණී මහදුර
මේ රටේ ධීවර කර්මාන්තය දෙයාකාරය. මිරිදිය එකක්ය. කරදිය අනෙකය. මෙයින් ප්‍රබල වන්නේ කරදිය ධීවර කර්මාන්තයයි. නැතහොත් මුහුදු රස්සාවයි.
සිය දහස් ගණනක් මේ මුහුදු කර්මාන්තයේ යෙදී සිටිති. මේ ධීවර කර්මාන්තය නිසා ඒහා බද්ධවූ රැකියා රැසක්ම තිබීම ද නොසලකා හැරිය හැකිය. ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීම, දැල් ආම්පන්න නිෂ්පාදනය කිරීම, මත්ස්‍ය අස්වැන්න ප්‍රවාහනය කිරීම ආදියෙන් රැකියා අවස්ථා බිහිව තිබේ.
කරවල වේළීම මුහුදු රැකියාවේ ඇති අතුරු ඵලයකි. මුහුදු රැකියාව අපට නැතිවම බැරි කර්මාන්තයක්වී හමාරය. මේ කර්මාන්තය දැන් දැන් නැත්තටම නැතිවීයාමේ දැඩි අවධානමකට නතුවී තිබේ. එයට ද හේතු ගණනාවකි.
රැකියාව පමණක් නොව මුහුදේ ඉන්න මත්ස්‍ය සම්පත ද වඳවී යන්නේය. ඒ අනෙකක් නිසා නොව තහනම් පන්නයෙන් ධීවර කර්මාන්තය හේතුවෙනි. ලයිට්කෝස් ඒ අතර ප්‍රධානය. හැඹිලි දැල්වලින් මසුන් ඇල්ලීමද තවත් එකකි. ඩයිනමයිට් දමා මසුන් මැරීමද අනෙකකි. මෙලෙස තහනම් පන්නයෙන් නැතහොත් නීතිවිරෝධී ආකාරයට මසුන් ඇල්ලීම කඩා පාත්වුණේ මෑතකදීය. එදා අපේ ධීවරයන් මුහුදු රැකියාව කළේ නීති ගරුකවය.
මේ තහනම් පන්නයෙන් මසුන් ඇල්ලීමට සමහර අය පෙළඹීමත් සමගම මුහුදු රැකියාව කළ සිය දහස් ගණනකට බඩේ පහර වැදී හමාරය. තහනම් පන්නයෙන් ධීවර කර්මාන්තයේ බලපෑමෙන් සිය දහස් ගණනක් මුහුදු රැකියාවට සමුදී හමාරය.
දකුණේ ධීවර සංවිධානයේ සම්බන්ධීකාරක ඩුලිප් රංගජීව:-
තහනම් පන්න නිසා සම්මත මුහුදු රැකියාව දැඩි තර්ජනයකට ලක්වෙලා. මේ තහනම් පන්නයෙන් මසුන් අල්ලන්නේ කිහිපදෙනයි. ඒ අය ධීවරයෝ නෙමෙයි. මොනවාහෝ කරලා මඩිය තරකර ගන්න මහන්සි ගන්න මුදලාලිලයි. මහ මුහුදට හැබෑම ආදරයක් තියෙන කිසිම කෙනෙක් තහනම් පන්නයෙන් මසුන් මරන්න මුහුදට යන්නේ නැහැ.
තහනම් පන්නයෙන් කරන්නේ මුහුදේ ඉන්න ඔක්කෝම මාළු නෙළාගන්න එකයි. ලොකු මාළුවද පොඩි මාළුවද, බිත්තර දාන්න ඉන්න මාළුවද කියලා ඒ අයට අදාළ නැහැ. ඔවුන්ගේ පන්නයට මේ සියලුම මසුන් අසුවෙනවා. මාළු බිත්තරත් මේ නිසා විනාශ වෙනවා. මසුන් ආයෙත් අලුතින් වර්ධනයවීමක් නැහැ. දකුණේ ධීවර සංවිධානයෙන් අපි මේ තහනම් පන්නවලට විරුද්ධව දැඩි විරෝධයක් ගෙනියනවා. මේ ප්‍රශ්නය හමුවේ බොහෝ ධීවර සමිති සමාගම් නිහඬයි.
පී.එච්.ලැම්බට්:-
කතා කරලා වැඩක් නැහැ. මුහුදු පාලුවෝ මහ මුදට තහනම් පන්නවූ හැඹිලි දැල් ගෙනියනව. ලයිට්කෝස්වලින් මාළු අල්ලනවා. ඒ අස්සේ ඩයිනාමයිට් ගහනවා. ඒ අය ඇල්ලීමට කිසි වැඩපිළිවෙළක් නැහැ. මොන ආණ්ඩුව ආවත් එච්චරයි.
අදාළ බලධාරීන්ට තාම තේරිලා නැහැ මේකේ තියෙන අවදානම. දැනටම මහ මුහුද පාලුවේගෙන යනවා වේගයෙන්.
මේ තහනම් පන්නවලින් මුහුදු රස්සාව තහනම් කරලා තියෙන්නේ නාමිකව විතරමයි. ඒ නිසාද කොහේ තහනම් පන්නවලින් මාළු අල්ලන අය කිසිම බයක් සැකයක් නැතිව ඔවුන් මහ මුහුදට ගිහිල්ලා මාළු අල්ලනවා. මේ රටේ කිසිදු නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති ගානයි.
දකුණේ ධීවර සංවිධානයේ සභාපති සුපෙම් රෝහණ:-
කියන්න කනගාටුයි අද මහ මුහුදට අත්වෙලා තියෙන කනගාටුදායක ඉරණම ගැන. හැඹිලි දැල්වලින් මාළු ඇල්ලීම ජයටම කෙරීගෙන යනවා. ලයිට්කෝස් මාළු ඇල්ලීමත් එහෙමමයි. දැන් ඇතැම් බහුදින ධීවර යාත්‍රාත් මුහුදු යන්නේ තහනම් පන්න අරගෙන. මේ යාත්‍රා පරීක්ෂා කරන්න කෙනෙක් නැහැ.
මේ තහනම් ක්‍රමවලින් මසුන් ඇල්ලීම නිසා මාදැල් කර්මාන්තය, රිටි පන්න ධීවර කර්මාන්තය, පිලාව, තනි බෝට්ටු, රිටි පන්න වැනි ධීවර කර්මාන්ත නැත්තටම නැති වෙමින් තියෙනවා. කුඩා මාළුවාහේ ඉඳලා මාළු බිත්තරය දක්වාම මේ තහනම් පන්නයේ ගොදුරු බවට පත්වෙනවා. හැඹිලි දැලේ ඇස් ඉතාම කුඩායි. මේ දැලට මාළු විතරක්ම නෙමෙයි අහුවෙන්නේ. මාළු බෝවීමට දාලා තියෙන මාළු බිත්තරත් අහුවෙනවා.
දකුණේ ධීවර සංවිධානයේ ලේකම් ඒ.ජයසිරි :-
ධීවරයන් සැමදෙනා එකතුවී මේ ව්‍යසනයෙන් අපේ කර්මාන්තය බේරා ගත යුතුමයි. නැත්නම් අපිට හෙට දවසක් නැහැ. මහ මුහුදට හෙට දවසකුත් නැතිවේවි.
මහ මුහුදට ගිහිල්ලා දැන් අපි මාළු අස්වැන්න නෙළා ගන්න කොච්චර දුක්විඳිනවද? ඒකාලේ එහේම නැහැ. අපි මාළු හංගලා තිබ්බාවගේ තමයි මාළු අස්වැන්න නෙළා ගෙන එන්නේ. දැන් එහේම වෙන්නේ නැහැ. මේ නිසාම දැන් දැන් අපේ අය මුහුදු යාමෙන් ඈත්වෙලා. තහනම් පන්න ධීවර කර්මාන්තයට හිස ඔසවන්න දුන්නොත් මහ මුහුදේ මල ගම තමයි එදා උදා වෙන්නේ.
හර්ෂ මුදිත මෙන්ඩිස්:-
මටත් බහුදින යාතාවක් තියෙනවා. අපිත් විරුද්ධයි මහ මුහුදේ සිදුවන තහනම් පන්න ධීවර කර්මාන්තයට. තහනම් පන්නයෙන් මුහුදේ මසුන් වඳ වෙනවා කියන එක බොරුවක් නෙමෙයි. අපි සාමූහිකව එකතුවෙලා මේ අකටයුත්තෙන් මහ මුහුද බේරා ගත යුතුමයි. එහෙම නොවුණොත් ධීවර රැකියාවෙන් දිවිගෙවූ ලක්ෂ ගණනක් අනාථයි.
ජී.ගුණසේන:-
අපි හැම දෙයක්ම කළේ ධීවර කර්මාන්තයෙන්. එදා කිසිදු කරදරයක් නැතිව ඒ රැකියාව කළා. අද ඒ රස්සාවට යනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙලා තියෙනවා. දැන් මුහුදු ගිහිල්ලා වැඩක් නැහැ. මහන්සි වෙන එක විතරයි. යන තෙල්වලටත් ණයයි. තහනම් පන්න ධීවර කර්මාන්තය පටන් ගත්ත දා ඉදලා අපිට කණ කොකා හඬන්න පටන් ගත්තා. මේක පොඩි තැනින් කඩා ගන්න තිබුණු දෙයක්. මුලදිම හරි බෙහෙත දුන්නනම් දැන් තහනම් පන්න ක්‍රමයක් ලංකාවේ නැහැ.
ඩබ්ලිව්.ටී.රොෂාන්:-
අපි පාරම්පරික මාදැල් කාර්මිකයන්. මේ තහනම් පන්න ධීවර කර්මාන්තය නිසා මාදැල් කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්වයක් උදාවෙලා. තහනම් පන්න කරන අය දියඹ මුහුදේදී ලොකු මාළු මෙන්ම පොඩි මාළුත් අල්ලනවා. ඒ විතරක්නම් කමක් නැහැ. හැඹිලි දැලට මාළු බිත්තරත් අහුවෙනවා. තනහම් පන්න ධීවර කර්මාන්තය සහමුලින්ම තුරන් කිරීමට රජය වහාම මැදිහත්විය යුතුයි.
ශ්‍රියානී සිල්වා:-
එදා අපිට මුහුද ගැන ෂුවර් එකක් තිබුණා. ඒ තරමටම මුහුදේ මාළු හිටියා. මේ තහනම් පන්න ධීවර රැකියාවත් සමගම මුහුදේ මාළු වඳවුණා. මාලු වඳවී යාමත් සමගම ධීවර පවුල් දැන් නන්නත්තාර වෙලයි තියෙන්නේ. මේවා ගැන කතා කරන්න කවුරුත් නැහැ.
මේ සම්බන්ධයෙන් ධීවර නියෝජය අමාත්‍ය රත්න ගමගේ මෙසේ කීවේය.
තහනම් පන්නයෙන් කරන ධීවර කටයුතු ඇල්ලීම නතර කරලා නැහැ. ධීවර පරීක්ෂකවරුන්ට තහනම් පන්න ධීවර කටයුතු වැටලීම් කිරීමට ආරක්ෂාව ලබාදිය හැකියි. මේ සම්බන්ධයෙන් අපි නාවික හමුදාවත් එක්ක සාකච්ඡා කරන්න බලා පොරොත්තු වෙනවා. ධීවර අමාත්‍යාංශය විදිහට මේ වැටලීම් සඳහා රජයේ උපරිම සහයෝගය දෙනවා. රජයේ අරමුණ සම්මත ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමයි.
ධීවර කර්මාන්තය වනසන තහනම් පන්න ක්‍රම