IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


දෙසැම්බරයේදී තේ කිලෝවක මිල ඉහළ ගිහින්

2024 දෙසැම්බර් හා සැසඳීමේදී රුපියල් 16.76 ක ඉහළ යාමක් 


2024 හා සැසඳීමේදී 2025 දී තේ කිලෝවක මිල රුපියල් 54.45කින් පහළට 


භානුක අමරසිංහ
2025 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය තේ කිලෝවක් සඳහා රුපියල් 1,201.58ක් (එ.ජ. ඩොලර් 3.89ක්) ලෙස සටහන්ව තිබේ.  
ඒ අනුව නොවැම්බර් මාසයේදී වාර්තා කළ රුපියල් 1,198.39 (ඩොලර් 3.91) හා සැසඳීමේදී මෙය රුපියල් 3.19 කින් ඉහළ යාමක් වන අතර ඩොලර් 0.02ක අඩු වීමක් බව තේ වෙන්දේසි සමාගමක් වන Forbes & Walker සමාගම පවසයි. 
මෙහිදී නොවැම්බර් මාසය හා සැසඳීමේදී දෙසැම්බරයේදී උස් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,157.52 ක සිට 1,178.25ක් දක්වා රුපියල් 20.73කින්ද, මැදි වගා බිම් තේ කිලෝවක් රුපියල් 1,030.24 ක සිට රු. 1,048.89ක් දක්වා රුපියල් 18.65 කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත් පහත් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,258.93 ක සිට 1258.25ක් දක්වා රු. ශත 68 කින් පහත වැටී තිබේ. 
මේ අතර 2024 වසරේ දෙසැම්බර් මාසයේදී තේ කිලෝවක් සදහා වාර්තා වූ සාමාන්‍ය අගය වන රුපියල් 1,184.82 (ඩොලර් 4.06) හා සැසඳීමේදී 2025 දෙසැම්බර් වටිනාකම රුපියල් 16.76 කින් ඉහළ ගොස් ඇති අතර, ඩොලර් 0.17 කින් පහත වැටී තිබේ. 
ඒ අනුව 2024 දෙසැම්බර් හා සැසඳීමේදී 2025 දෙසැම්බරයේදී උස් වගා බිම් තේ කිලෝවක් රුපියල් 50.09 කින්ද, මැදි වගා බිම් තේ කිලෝවක් රුපියල් 11.12 කින්ද, පහත් වගා බිම් තේ කිලෝවක් රුපියල් 4.49 කින්ද ඉහළ ගොස් තිබේ. 

කෙසේ වෙතත් 2024 වසර තුළ (ජන-දෙසැම්බර්) වාර්තා කළ ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය වන කිලෝවක් සදහා පැවැති රුපියල් 1,225.17 (ඩොලර් 4.06ක්) හා සැසඳීමේදී 2025 වසරේ දී රුපියල් 1,167.72ක් (ඩොලර් 3.88ක්) දක්වා රුපියල් 57.45 කින් මෙන්ම ඩොලර් 0.18කින් වටිනාකම පහත වැටී ඇතැයි Forbes & Walker පවසයි.  
ඒ අනුව උස් වගාබිම් තේ කිලෝවක් රුපියල් 1,141.63ක සිට රුපියල් 1,100.86ක් දක්වා රුපියල් 40.77 කින්ද, මැදි වගා බිම් තේ කිලෝවක් රුපියල් 1,064.48ක සිට රුපියල් 1,025.82ක් දක්වා රුපියල් 38.66 කින්ද, පහත් වගා බිම් තේ කිලෝවක් රුපියල් 1,304.38 ක සිට රුපියල් 1,235.26ක් දක්වා රුපියල් 69.12 කින්ද පහත වැටී තිබේ.

 

 



අදහස් (0)

දෙසැම්බරයේදී තේ කිලෝවක මිල ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site