IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


දියවන්නාව දෙපස ඉඩම් 09ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘතිවලට

නිමල කොඩිතුවක්කු


බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට යාබදව දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09 ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බත්තරමුල්ල, දියවන්නා ඔය ආශ්‍රිත තෙත් බිම් කලාපය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ අග නගරයේ ගංවතුර වැළැක්වීමේ සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලය ආශ්‍රිත ප්‍රදේශයෙහි ජලාපවහන සංවර්ධන කටයුතු නිම කරනු ලැබ තිබේ. 
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ විනෝදාස්වාදය සඳහා දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් යොදා ගනිමින් ‘ෆ්‍රොලික් අයිලන්ඩ් විනෝදාත්මක මධ්‍යස්ථාන ‘(Frolic Island Recreational Hub) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එය කඩුවෙල නගර සංවර්ධන සැලැස්ම යටතේ 2024 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර තිබේ.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අක්කර 13.57 ක සම්පූර්ණ භූමි ප්‍රමාණයකින් යුත් බිම් කොටස් 09 ක් හඳුනාගනු ලැබ ඇති අතර, එම බිම කොටස් විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයන්ට බදු පදනම මත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුගතව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්, ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

දියවන්නාව දෙපස ඉඩම් 09ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘතිවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site