IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


දිග්ගැසෙන ඊශ්‍රායල- ඉරාන යුද්ධයෙන් සංචාරක කර්මාන්තයට බලපෑම්

විමුක්ති එස් රුද්‍රිගු

වර්ධනය වන ඊශ්‍රායල - ඉරාන අර්බුදය හේතුවෙන් මෙරට ශීත සෘතු සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් එල්ල විය හැකි යැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

දෙරට අතර වර්ධනය වෙමින් පවතින අර්බුදය නිසා ගුවන් මාර්ගවලට බාධා එල්ල වීම හේතුවෙන් ශීත සෘතුව සඳහා කලින් වෙන්කිරීම් සිදුකරන සංචාරකයන්ගේ යම් වෙනසක් සිදුවිය හැකි බව ඔහු පැවැසුවේය. 

සාමාන්‍යයෙන් මෙම කාලය ශීත සෘතුව සඳහා කලින් වෙන් කිරීම් සිදුකරන කාලය වුවද, උද්ගතවෙමින් පවතින තත්වය සම්බන්ධයෙන් බලධාරීන් කණස්සල්ලෙන් පසුවන බව ඔහු පැවැසුවේය. ඉරානය සහ ඊශ්‍රායලය සිය ගුවන් සීමා වසා දැමීම හේතුවෙන් ගුවන් සේවාවලට මෙන්ම සංචාරක කර්මාන්තය මත යැපෙන රටවල්වලට අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

දෙරට අතර අර්බුදය යුරෝපය හා ආසියාව යා කරන ගුවන් මාර්ගවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් මෙරට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 50.67 ක් පැමිණෙන්නේ යුරෝපයේ සිට බවත් රණසිංහ මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවලට යුරෝපයට ගමන් කිරීමේදී ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් ගුවන් සේවාවලට දැරීමට සිදුවන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අර්බුදයට ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් ගුවන් ටිකට්පත් මිල ඉහළ යාමට ඉඩ තිබෙන බවත් ඒ හේතුවෙන් සංචාරක ඉල්ලු‍ම පහළ යාමට ඉඩ තිබෙන බවත් ඔහු පැවැසුවේය. 



අදහස් (0)

දිග්ගැසෙන ඊශ්‍රායල- ඉරාන යුද්ධයෙන් සංචාරක කර්මාන්තයට බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site